ජැෆ්නා ස්ටැලියන්ස් LPL අවසන් තරගයට

Share

මූලික වටයේදී තරග 5ක්ම ජයගනිමින් විශිෂ්ට දස්කම් පෑ දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු දඹුල්ල වයිකිං පිලේ ජයග්‍රාහී ගමන නතර කළ තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුතු ජැෆ්නා ස්ටැලියන්ස් පිල ඊයේ රාත්‍රී හම්බන්තොට මහින්ද රාජපක්ෂ අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ පැවැති එල්පීඑල් දෙවැනි අවසන් පූර්ව තරගයේදී ලකුණු 37ක ජයක් ලබා අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට සමත් විය.

 

පළමුව පන්දුවට පහරදුන් ජැෆ්නා පිල ඕවර 20 ක් තුළ කඩුලු 9කට රැස් කළ ලකුණු 165 හඹා ගිය දඹුල්ල වයිකිං පිල ඕවර 19.1කදී ලකුණු 128කට දැවී ගියේය.

කාසියේ වාසිය දිනූ දඹුල්ල වයිකිං පිලේ නායක දසුන් ශානක පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව ජැෆ්නා පිලට ලබා දීමෙන් පසු අවිශ්ක ප්‍රනාන්දු සහ ජොන්සන් චාල්ස් සාර්ථක ආරම්භයක් ලබා ඕවර 8.3කදී පළමු කඩුල්ලට ලකුණු 68ක සම්බන්ධතාවක් ගොඩ නැගීමට සමත්වූහ.

පන්දු 26කදී හතරේ පහර 2ක් සහ හයේ පහර 4ක් සමග ලකුණු 39ක් ලබා සිටි අවිශ්ක දැවී ගියේ අන්වර් අලී යැවූ ඉනිමේ 9 වැනි ඕවරයේදී ඉහළින් එල්ල කළ පහරක් උඩපන්දුවක් ලෙස ඇන්ජෙලෝ පෙරේරා හතරේ සීමාව අසළ සිට රැක ගැනීමෙනි.

ඊයේ ජැෆ්නා කණ්ඩායමේ ඉනිම ගොඩනැගුවේ අගනා ඉනිමක් ක්‍රීඩා කළ ජොන්සන් චාල්ස් ය. දඹුල්ල පිලේ පන්දු යවන්නන් හමුවේ පිතිකරුවන් එකපෙළට දැවී යද්දී සටන්කාමී අයුරින් පිතිහරඹයේ නිරතවූ චාල්ස් දැවී ගියේ ලකුණු 76ක් රැස් කිරීමෙන් පසුවය. මේ පිතිකරුවාගේ ඉනිමට වැය වූයේ පන්දු 56ක් පමණි. හතරේ පහර 10ක් සහ එක් හයේ පහරක් ඊට ඇතුළත් විය.

ජැෆ්නා පිලේ මැදපෙළ පිතිකරුවන්ට ලකුණු අතරට පිවිසීමට කිසිදු ඉඩක් ලබා නොදුන් දඹුල්ල පිලේ පන්දු යවන්නෝ ලකුණු 27ක් ඇතුළත මැදපෙළ පිතිකරුවන් 5 දෙනකුම දවාලීම කැපී පෙනුණි.

ජැෆ්නා පිලේ පිතිකරුවන් සිවුදෙනකුම දුවද්දී දැවීයෑමට හසුවූ අතර, කසුන් රාජිත යැවූ ඉනිමේ අවසන් ඕවරයේ අවසන් පන්දු 2දීම කඩුලු දෙකක් බිඳ වැටුණේ දුවද්දී දැවීයෑමට හසුවීමෙනි. ඊයේ ජැෆ්නා ඉනිම අතරතුර අන්වර් අලී උඩපන්දු 3ක්ම රැකගැනීමට සමත්වීම කැපී පෙනුණි.

ලකුණු 166ක ඉලක්කය හඹා යෑමට පිටියට පිවිසි දඹුල්ල පිලේ පිතිකරුවන්ට කිසිදු බුරුලක් ලබා නොදුන් වනිඳු හසරංග ප්‍රමුඛ ජැෆ්නා පන්දු යවන්නෝ ඕවර 10ක් නිමාවනවිට ප්‍රතිවාදී කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 68කට සීමා කළේ කඩුලු 4ක්ම දවාලමිනි. අනතුරුව දඹුල්ල පිලේ ඉරණම විසඳමින් 11 වැනි ඕවරය යැවූ වනිඳුගේ ඕවරය තුළදී කඩුලු 2ක්ම බිඳ වැටුණේ දඹුලු පිලේ නායක දසුන් ශානක ද දුවද්දී දැවීයෑමට හසුකර ගනිමිනි.

ඊයේ දිනයේ විශිෂ්ට පන්දු යැවීමක නිරතවූ වනිඳු හසරංග සිය ඕවර 4දී නොඉඳුල් ඕවරයක් ද සමග කඩුලු 3ක් දවාලීමට සමත්වූයේ තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා ලෙස කඩුලු 16කට හිමිකම් කියමිනි. උපුල් තරංග ලකුණු 33ක් රැස් කළේ පන්දු 39කිනි. හතරේ පහර 5ක් ඔහුගේ ඉනිමට එක්විය. ඊට අමතරව ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල පන්දු 18කදී හතරේ පහර 5ක් සමග ලකුණු 29ක් ලබා ගත්තේය.

දඹුලු පිලේ ලකුණු 100 සම්පූර්ණ වීමට ඕවර 16ක්ම වැයවූ අතර ඉනිමේ 17 වැනි ඕවරය යැවූ වනිඳු එම ඕවරය තුළදී කිසිදු ලකුණක් ලබා නොදී කඩුල්ලක් දවාලීම කැපී පෙනුණි. දඹුලු පිලේ මැදපෙළ කඩුලු 5ක්ම බිඳ වැටුණේ ලකුණු 34කදීය.

තරගයේ වීරයා සම්මානය ජොන්සන් චාල්ස්ට හිමිවිය.

Read more

Local News