මෙරට හා මැලේසියාව අතර වෙළදාම ගැන එකඟත්වයක්

Share

කෘෂිකර්මාන්තය පදනම් කරගත් කර්මාන්තවල දී මැලේසියාව සමඟ වෙළඳාම පුළුල් කිරීම සඳහා ශ්‍රී ලංකාවට විශාල අවස්ථාවක් පවතින බවට ශ්‍රි ලංකාවේ මැලේසියානු මහ කොමසාරිස් ටැන් යැං තායි මහතා හා විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර ඉකුත් දා පැවැත්වූ සාකච්ඡාවකදී තහවුරු විය.

 

විදේශ අමාත්‍යංශයේදී පැවැති මෙම සාකච්ඡාවේදී මැලේසියානු මහ කොමසාරිස්වරයා අදහස් දක්වමින්, කොවිඩ්-19 වසංගත තත්ත්වය මධ්‍යයේ සිය රටවල දිගින් දිගටම සිදුවෙමින් පවතින විශාල ආර්ථික හානිය අතරතුර දී අඛණ්ඩව රැඳී සිටීමට සියලු රටවල් උත්සාහ දරන බව පැවසූ අතර, වෛරසයේ ව්‍යාප්තිය මැඩ පැවැත්වීම සඳහා ශ්‍රී ලංකාව විසින් ක්‍රියාත්මක කරන ලද ප්‍රතිපත්ති පිළිබඳව ප්‍රශංසා කළේය. පශ්චාත් කොවිඩ්-19 යුගයේ දී මෙම බෝවන රෝග තත්ත්වයෙන් මිදී යථා තත්ත්වයට පත්වීම පිණිස අග්නිදිග ආසියානු ආර්ථිකයන්ට පහසුකම් සලසනු ඇතැයි අපේක්ෂිත, ආසියාන් කේන්ද්‍රීයත්වය සහ මෑතකදී අත්සන් තබන ලද කලාපීය පුළුල් ආර්ථික හවුල්කාරිත්වය (RCEP) සඳහා මැලේසියාව අඛණ්ඩව සහාය දෙන බව මහ කොමසාරිස්වරයා සඳහන් කළේය. දෙරට අතර වෙළඳ හා ආරක්ෂක කටයුතු පිළිබඳ ද්විපාර්ශ්වික සහයෝගීතාව ඉහළ නැංවීම කෙරෙහිද මෙම හමුවේදී අවධානය යොමු විය.

ආරක්ෂාව සම්බන්ධ ක්‍ෂේත්‍රවල දී මැලේසියාව විසින් ලබා දී ඇති සහයෝගීතාව අමාත්‍ය ගුණවර්ධන මැතිතුමා තවදුරටත් පැසසුමට ලක් කළ අතර දෙදෙනාම එම සමීප සහයෝගය අනුමත කළහ. මැලේසියාව තුළ කිසිදු ආකාරයක ත්‍රස්තවාදයක් හෝ අන්තවාදයක් සඳහා සමාව ලබා නොදෙන අතර එය අවම කිරීම සඳහා සෑම පියවරක්ම ගන්නා බවත්, කලාපය තුළ සාමය හා ස්ථාවරත්වය ප්‍රවර්ධනය කිරීමට අඛණ්ඩව කටයුතු කරන බවත් මහ කොමසාරිස් ටැන් මැතිතුමා අවධාරණය කළේය. තවද, කලාපීය හා ජාත්‍යන්තර වේදිකාවල දී ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහාය දෙන බවට මැලේසියානු මහ කොමසාරිස්වරයා සහතික විය.

මැලේසියාවේ විදේශ ඇමතිවරයා වෙත සිය අවංක සුබ පැතුම් එක් කරමින් විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා තවදුරටත් අවධාරණය කළේ, ද්විපාර්ශ්වික දේශපාලන උපදේශන පැවැත්වීම තුළින් ලබන වසර ආරම්භයේ දී ශ්‍රී ලංකාවට සහ මැලේසියාවට විවිධ ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව වැඩිදියුණු කළ හැකි බවට තමා සුබවාදීව සිටින බවයි.

සිය ධූර කාලය තුළ දී ආසියාන් ප්‍රජාව සමඟ ශක්තිමත් බැඳීමක් ඇති කර ගැනීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බවත්, ආසියාන් කලාපයේ සංවාද හවුල්කරුවෙකු වීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බවත් අමාත්‍ය ගුණවර්ධන මහතා යළි අවධාරණය කළේය.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන වෙළඳ හවුල්කරුවෙකු ලෙස මැලේසියාව ඉස්මතු වීමත් සමඟ, පසුගිය වසර කිහිපය තුළ දී ශ්‍රී ලංකාව සහ මැලේසියාව අතර වෙළඳාම ඉහළ යමින් පවතී. මේ වන විට, ශ්‍රී ලංකාවේ සමස්ත ආනයනයෙන් 4.6% ක් සපයන මැලේසියාව, 2019 දී ශ්‍රී ලංකාව සඳහා 4 වැනි සැපයුම්කරු විය. 2019 දී ශ්‍රී ලංකාවේ 39 වැනි අපනයන ස්ථානය වූයේ මැලේසියාවයි. මැලේසියාව 2019 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ 6 වැනි ආයෝජන හවුල්කරුවා විය.

Read more

Local News