යුද හමුදා සේවයට යාපනය ගොවීන්ගෙන් ප්‍රශංසා

Share

මහජනතාව සමඟ පවතින විශ්වාසය මෙන්ම ප්‍රජා සුභසාධන කටයුතු තවදුරටත් ප්‍රවර්ධනය කරමින් යුද්ධ හමුදාව විසින් සිදුකරනු ලබන ජාතිය ගොඩනැඟීමේ ක්‍රියාවලියෙහි තවත් එක් අදියරක් වශයෙන් වඩුක්කොඩෙයි ප්‍රදේශයේ පිහිටි ‘උප්පු වායල්කුලම්’ වැව ගොවීන්ගේ සහ ප්‍රදේශවාසීන්ගේ ප්‍රයෝජනයට ගැනීම සඳහා යුද්ධ හමුදාව වෙතින් අළුත්වැඩියා කොට මහජනතාව වෙත පවරාදීමේ උත්සවය ඊයේ(17) දින ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ සහභාගිත්වයෙන් පැවැත්වූ අතර, එහිදී ‘යාපනය මිතුරෝ’ සහ වඩුක්කොඩෙයි නිරිත ගොවි සංගමයේ සභාපති ආචාර්ය සිදම්බරන් මෝහන් මහතා විසින් යුද්ධ හමුදාධිපතිතුමන් සිදුකරනු ලබන කැපවීම ඉමහත් ප්‍රශංසාවට ලක්කරන ලදී.

 

සිවිල් වැසියන් සහ යුද්ධ හමුදාව අතර අන්‍යෝන්‍ය සුහදත්වය තවදුරටත් වර්ධනය කිරීමේ අරමුණින් සිදුකරනු ලබන තවත් එක් ව්‍යාපෘතියක් වශයෙන් දියත් කළ මෙම ව්‍යාපෘතිය යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් සෙනරත් බණ්ඩාර මහතාගේ උපදෙස් මත 51 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සුමිත් ප්‍රේමලාල් ගේ අධීක්‍ෂණය සහ 513 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් මොහොමඩ් ෆාරිස් ගේ මෙහෙයවීමෙන් 10 වන ක්ෂේත්‍ර ඉංජිනේරු බලකා රෙජිමේන්තුවේ සහ 11 වන ශ්‍රී ලංකා පාබල හමුදා භටපිරිස් හී ශ්‍රම දායකත්වය ඇතිව උප්පු වායල්කුලම් වැව නැවත කැණීම් හා ප්‍රතිසංස්කරණ ව්‍යාපෘති දියත් කරමින් සම්පූර්ණ පිලිසකර කරනු ලැබිණි.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා සමඟින් එක් වූ ආචාර්ය සිදම්බරන් මෝහන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ගොවීන් එක්ව ඉන්දියාවේ ගංගා නම් නදියෙන් රැගෙන ආ ශුද්ධ වූ ජලය ප්‍රතිසංස්කරණය කරන ලද වැවට එක් කොට වැවෙහි ප්‍රතිගමනය සනිටුහන් කළහ. ඉන් අනතුරුව, ආචාර්ය සිදම්බරන් මෝහන් මහතා නාම පුවරුව විවෘත කළ අතර සමරු ඵලකය නිරාවරණය යුද්ධ හමුදාධිපතිතුමන් ගේ සුරතින් සිදුවිය.

මීට වසර ගණනාවකට ප්‍රථම, වැව අවට ගම්මානවල ගොවිතැන් කටයුතු සඳහා ප්‍රමාණවත් තරම් ජලය සම්පාදනය කරමින් එම ප්‍රදේශය ජලයෙන් ස්වයංපෝෂිත කළ මෙම වැවේ ජල ධාරිතාව විවිධ හේතූන් මත වියළී හීන වන ලදී. ‘තියාහි පුණ්‍යාධාර භාරයේ’ ප්‍රධානී වාමදේව ත්‍යාගේන්ද්‍රන් යුද්ධ හමුදාවේ ඉල්ලීමකට අනුව යුද්ධ හමුදා ශ්‍රම දායකත්වයෙන් සිදුකරනු ලබන මෙම දැවැන්ත ව්‍යාපෘතිය වෙනුවෙන් අවශ්‍ය මූල්‍යමය දායකත්වය සම්පාදනය කළ අතර, ඒ තුලින් වඩුක්කෝඩයි ප්‍රදේශයේ ගොවීන්ගේ බලාපොරොත්තු නැවත පණගැන්වීය. අළුත්වැඩියා කරන ලද වැව මගින් අක්කර 4000 ක ගොවිබිම් වගා කිරීමට සහ පවුල් 600 කට අධික ප්‍රමාණයකට වගා කිරීමට ප්‍රමාණවත් ජල සම්පතක් ලබාදීමට හැකියාව ලබති.

මෙම අවස්ථාවේදී ආචාර්ය සිදම්බරන් මෝහන් සභාව අමතා කළ කථාවෙහි යුද්ධ හමුදාව වෙතින් මහජනයාගේ ඉදිකිරීම්, සංවර්ධන, නිවාස ඇතුළු වෙනත් සුභසාධක කාර්යභාරයන් වෙනුවෙන් සිදුකරන කැපකිරීමට සිය කෘතඥතාවය පළකරමින් යුද්ධ හමුදාධිපතිතුමන් වෙනුවෙන් විශේෂ ස්තූතිය පුදකළ අතර “යුද්ධ හමුදාවේ සේවය මෙන්ම වත්මන් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ කාර්යභාරය මම මුළු හදින්ම අගය කරමි. විශේෂයෙන් ජාතිය ගොඩනැගීමේ කාර්යභාරය වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන් ගේ නොසැලෙන කැපවීම, ආපදාවලදී අහිංසක මිනිසුන් මුදවාගැනීම, ඔවුන්ගේ ජීවනෝපායන් සඳහා සහය වීම, නිවාස ප්‍රදානය කිරීම සහ උතුරේ වැසියන් විපතට පත්වන සෑම අවස්ථාවකම ඔවුන්ගේ සුභසාධන කටයුතු පිළිබඳ සොයාබැලීම, වන්නි මානුෂීය මෙහෙයුම වෙනුවෙන් දැක්වූ දායකත්වය, කොවිඩ් – 19 වෛරසය පැතිරීම වැළැක්වීම වෙනුවෙන් දක්වන කැපවීම ආදී ක්‍රියාවන් වෙනුවෙන් ඔහු නොපිරිහෙලා සිය වගකීම ඉටුකළා.” යනුවෙන් එතුමන් ප්‍රකාශ කළේය. වැඩිදුරටත් ඔහුගේ ප්‍රකාශයේදී සීඝ්‍රයෙන් පැතිරයන මත්ද්‍රව්‍ය උවදුරට යාපනයේ තරුණ තරුණියන් ද මේ වනවිට ගොදුරු වී ඇති බැවින් රටෙන් මත්ද්‍රව්‍ය ඉවත් කිරීම වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන් ගේ සහයෝගය ඉල්ලා සිටියේය.

ආචාර්ය සිදම්බරන් මෝහන් සිදුකරනු ලැබූ ඉල්ලීමක් සඳහා ප්‍රතිචාර දැක්වීමක් වශයෙන් එතුමන්ගේ සම්බන්ධීකරණයෙන් කෘෂිකර්ම සංවර්ධන මණ්ඩලයේ සහකාර කොමසාරිස් ඊ. නිෂාන්ත්, වලිකාමම් බටහිර ප්‍රාදේශීය ලේකම් ප්‍රේමානි පොන්නම්බලන් සහ යාපනය දිස්ත්‍රික් ලේකම් කේ. මහේෂන් විසින් සිදුකරනු ලැබූ අනුග්‍රාහකත්වය මත යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් සෙනරත් බණ්ඩාර ගේ මඟපෙන්වීම යටතේ එම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ භටපිරිස් විසින් වැවේ ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින් ඉටුකරනු ලැබිණි.

මෙම සමාරම්භක අවස්ථාව සඳහා මහා සංඝරත්නය මෙන්ම අන්‍යාගමික නායකයින්, යාපනය දිස්ත්‍රික් ලේකම්, යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති, යාපනයේ ඉන්දියානු කවුන්සිල් ජෙනරාල් එස්. බාලචන්ද්‍රන් මහතා, 51, 52 සහ 55 වන සේනාංකවල සේනාංකාධිපතිවරුන්, ඉදිරි නඩත්තු පෙදෙස – උතුර ආඥාපති, යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ බ්‍රිගේඩියර් මාණ්ඩලික ප්‍රධානි සහ බ්‍රිගේඩියර් පාලන හා භටකාර්ය සම්පාදන, යාපනය අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්), වලිකාමම් බටහිර ප්‍රාදේශිය ලේකම්, ගොවි සංවර්ධන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් මෙන්ම එම ප්‍රදේශයේ ගොවීන්, සිවිල් වැසියන්, යුද්ධ හමුදා නිලධාරින් සහ රාජ්‍ය නිලධාරින් රැසක් සහභාගී වූහ.

සම්පූර්ණයෙන් ඉරි තලාගොස් භාවිතයට ගත නොහැකිව යට වී තිබූ මෙම වැව වැසි ජලය රඳවාගැනීමට හැකියාවක් නොමැතිකමින් පසුගිය කාලය පුරා යාබද ප්‍රදේශවල ගොවිතැන් හා ව්‍යාපෘති සඳහා අදාළ ජල ධාරිතාව ලබාදීමට නොහැකිව තිබූ අතර, යුද්ධ හමුදා භටපිරිස් විසින් බර යන්ත්‍රෝපකරණ සහ මිනිස් ශ්‍රමය උපයෝගී කරගනිමින් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව ඇතුළු සියලුම රාජ්‍ය ආයතන සමඟ සාකච්ඡා කර නැවත ප්‍රතිසංස්කරණය කිරීමට අවැසි ඉදිරි කටයුතු සිදුකරනු ලැබිණි.

එමෙන්ම,උදෑසන වැව් පිටියේ පැවති කෙටි උත්සවය අතරතුර, ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගොවි සංවර්ධන දෙපාර්තමේන්තුවේ රාජ්‍ය නිලධාරීන්ට සමස්ත ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය තාක්‍ෂණික මඟපෙන්වීම වෙනුවෙන් එම ආයතනය වෙත සමරු ඵලකයක් හා සහතිකපත්‍රයක් පිරිනැමිණි.

වැඩසටහන අවසානයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා කියා සිටියේ වැවේ ජලය චන්කනේයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය යටතේ සිටින පවුල් 600 කට ප්‍රයෝජනවත් වන අතර තවත් අක්කර 4000 ක පිහිටි කුඹුරු අස්වැද්දීමට භාවිතා කළ හැකි බවයි. “ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සැමවිටම දෙමළ ජනතාවගේ යහපත සඳහා කැපවී සිටින බවත් එහිදී, විශේෂයෙන්ම මෙම යාපනය ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් මේ වනවිට නිවාස 740 ක් නිමකොට භාර දී ඇති අතර තවත් නිවාස ව්‍යාපෘති කිහිපයක් ඉදිරියේදී සිදුකිරීමට නියමිතය. එමෙන්ම ස්වාභාවික ආපදාවන් වලදී ද යුද්ධ හමුදාව ඔවුන්ගේ සහය සඳහා නිරතුරුවම කැපවූ අයුරු පසුගිය ගංවතුර ආපදා සහ ‘බුරවි’ සුළි කුණාටුව නිසාවෙන් හානියට පත් වූ ජනතාවට සහය වීම පෙන්වා දිය හැක. එමෙන්ම ප්‍රදේශයේ ජනතාවගේ ඉල්ලීමක් වන මත් උවදුර ප්‍රදේශයෙන් මැඩලීම ආදී කරුණු සඳහා නිසි රාජ්‍ය බලධාරින් සමඟ සම්බන්ධතාවයෙන් යුතුව අවශ්‍ය සියළුම ක්‍රියාමාර්ග ගන්නා බවට ද මෙහිදී ප්‍රකාශ කරන ලදී.” කොවිඩ් – 19 වෛරස් වසංගතය රට තුළ පැතිරීම වැළැක්වීම පිළිබඳව ද එතුමන් මෙහිදී පැහැදිලි කළේය.

මීට මාස කිහිපයකට ප්‍රථම, පලාලි ප්‍රදේශයේ අත්හැර දමා තිබූ ‘රවිඳු වාපි’ නම් වැව ආචාර්ය සිදම්බරන් මෝහන් සහ රාජ්‍ය නිලධාරින්ගේ ඉල්ලීම පරිදි යුද්ධ හමුදා භටපිරිස් විසින් ප්‍රතිසංස්කරණය කර මහජනයාගේ ප්‍රයෝජනය වෙනුවෙන් භාරදෙනු ලැබිණි.

Read more

Local News