මෙරට තේ අපනයනයේ දී තීරුබදු සහන ලබාදීමට අප්‍රිකාවේ අවධානය යොමුව තිබේ.
ශ්‍රී ලංකා තේ සඳහා වසර තුනකට නොවැඩි කාලයකට තීරුබදු පහත හෙළීමට කෙරෙන ඉල්ලීම හැකි අයුරින් සලකා බලන බව ශ්‍රී ලංකාවේ අප්‍රිකානු මහ කොමසාරිස් රොබීනා පී. මාර්ක්ස් මහත්මිය පවසයි.
ඇය මේ බව සඳහන් කළේ ලක්ෂ්මන් කදිර්ගාමර් ජාත්‍යන්තර සබඳතා හා ක්‍රමෝපායික අධ්‍යයන ආයතනය (LKI), සංවිධාන කර තිබූ ‘ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා ව්‍යාපාර ප්‍රවර්ධන රැස්වීම’ අමතමිනි.
ශ්‍රී ලංකාවේ සේවය අවසන් කර ඉවත් වී යාමට පෙර පැවැති මේ රැස්වීමේ දී මෙරට ව්‍යාපාරික ප්‍රජාවෙන් මහ කොමසාරිස් රොබීනා පී. මාර්ක්ස් මහත්මියගේ සේවය පිළිබඳ උණුසුම් සුබ පැතීමක් ද සිදුවිය.
දෙරටේ ව්‍යාපාරික ප්‍රජාව සම්බන්ධ කර ගනිමින් අන්තර්ජාලය ඔස්සේ පැවැති මේ රැස්වීමේ දී ශ්‍රී ලංකාවේ සිය වෙළෙඳ පියසටහන පුළුල් කිරීමට දකුණු අප්‍රිකාව සමත් වී සිටින බවත්, සමස්ත වෙළෙඳාම තම රටට වාසිදායක අන්දමින් විශාල වශයෙන් ඉහළ නැඟ ඇති බවත් මහ කොමසාරිස් මාර්ක්ස් මහත්මිය සඳහන් කළාය.
දකුණු අප්‍රිකාව, අප්‍රිකානු කලාපයෙන් ශ්‍රී ලංකාවේ විශාලතම ආනයන ප්‍රභවය වන අතර, අප්‍රිකානු කලාපයට කෙරෙන අපනයන අතරින් දෙවන විශාලම අපනයන ගමනාන්තය වන අතර දකුණු අප්‍රිකාවෙන් කෙරෙන ආනයන බොහෝදුරට ගල් අඟුරු වන බව ද ශ්‍රී ලංකාවෙන් කෙරෙන අපනයන තොග වශයෙන් තේ, ඇඟලුම් සහ රබර් නිෂ්පාදන වන බවද විදේශ කටයුතු අමාත්‍යාංශය කියයි.
මේ රැස්වීමේ දී, මහ කොමසාරිස් මාර්ක්ස් මහත්මිය දකුණු අප්‍රිකාවට මත්ස්‍ය අපනයනය ඉහළ නැංවීමේ හැකියාව, මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ අගය එකතු කිරීම සහ දැනුම හුවමාරු කර ගැනීම, පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ අවස්ථා සහ ටින්වල ඇසුරුම් කිරීමේ කර්මාන්තයේ ආහාර සංරක්ෂණය සඳහා විශේෂඥ දැනුම බෙදාහදා ගැනීම පිළිබඳව ශ්‍රී ලාංකික ව්‍යාපාරික ප්‍රජාවේ නියෝජිතයන් සමඟ අදහස් හුවමාරු කර ගත්තාය.
මේ අන්තර්ජාලය හරහා පැවති රැස්වීම, විදේශ අමාත්‍ය සහ ලක්ෂ්මන් කදිර්ගාමර් ජාත්‍යන්තර සබඳතා හා උපාය මාර්ගික අධ්‍යයන ආයතනයේ සභාපති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ඉල්ලීම පරිදි සංවිධාන කරන ලද අතර, එම ආයතනයේ කළමනාකරණ මණ්ඩලයේ සාමාජික සහ ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ව්‍යාපාරික කවුන්සිලයේ සභාපති කෝසල වික්‍රමනායක, වෙස්ග්‍රෝ සමාගමේ, ආසියාව සඳහා රටේ කළමනාකරු බෙන්ජමින් ජෝර්ඩන්, වෙස්ග්‍රෝ සමාගමේ ජාත්‍යන්තර වෙළෙඳ සංවර්ධන කළමනාකරු නාඩින් ස්මිත් ක්ලාක්, ටෙස් පීඑල්සී සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ශිරාන් ප්‍රනාන්දු, සේෆිර් කැපිටල් සමාගමේ සභාපති ආර්මිල් සම්මූන් සහ රන්ෆිකා සමූහයේ අලෙවිකරණ අධ්‍යක්ෂ, රුවිනිකා කිනිගම මහත්ම මහත්මීහු ද සහභාගි වූහ.