රෝයල් පාර්ක් මිනීමැරුම් නඩුවේ වරදකරු වූ ජූඩ් ශ්‍රමන්තට එරෙහි විදෙස් තහනම තවත් දිගු වෙයි

Share

රෝයල් පාර්ක් මිනීමැරුම් සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පොදුසමාව ප්‍රදානය කර නිදහස් කරන ලද ජූඩ් ශ්‍රමන්තව ජයමාන්න නමැත්තා විදේශගතවීම වළක්වාලමින් පනවා තිබු තහනම් නියෝගය තවදුරටත් දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ.

 

එම පුද්ගලයාට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රදානය කරන ලද ජනාධිපති සමාව බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා කාන්තා මාධ්‍ය සංවිධාන එකමුතුව විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද (19) යළි කැඳවූ අවස්ථාවේ දී එම නියෝගය කෙරුණි.

එම පෙත්සම අද බුවනෙක අළුවිහාරේ, එල්.ටී.බී දෙහිදෙණිය සහ ප්‍රීති පද්මන් සූරසේන යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය.

පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, ජනාධිපති සමාව ලැබූ විගස ජූඩ් ශ්‍රමන්ත ජයමාන්න නැමැත්තා විදේශගත වූ බවත් ඔහු මේ වන විට යළි ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන බවට තොරතුරු අනාවරණය වී තිබෙන හෙයින් ඔහුට රටින් පිට වීම වළක්වාලමින් නඩු විභාගය ආරම්භයේ දී නිකුත් කළ තහනම් නියෝගය තවදුරටත් දීර්ඝ ලෙස ඉල්ලීමක් කළේය.

එම ඉල්ලීම පිළිගත් ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ තහනම් නියෝගය තවදුරටත් දීර්ඝ කිරීමට නියෝග කළේය.

මෙම පෙත්සම අද සලකා බැලීම සඳහා නියමිතව තිබුණත් එහි වගඋත්තරකරුවකු ලෙස නම් කර සිටින හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා අද දින පෙනී නොසිටින බැවින් කරුණු සලකා බැලීම සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙස ඔහුගේ කණිෂ්ඨ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඒ අනුව පෙත්සම සලකා බැලීම ජුනි මස 10වන දා දක්වා කල්තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

පෙත්සම්කාර සංවිධානය කියා සිටින්නේ අධිකරණය මගින් බරපතළ මිනී මැරුමක් සම්බන්ධයෙන් වරදකරු කර මරණිය දණ්ඩනය නියම වී සිටි රෝයල් පාර්ක් මිනීමැරුම් නඩුවේ විත්තිකරුට ජනාධිපති සමාව ප්‍රදානය කිරීමේ දී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිසි නීතිමය ක්‍රියාපටිපාටීන් අනුගමනය කර නොමැති බවය.

ඔහු විසින් ප්‍රදානය කර තිබෙන පොදු සමාව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි පෙන්වා දෙන එම සංවිධානය ඒ අනුව එය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ද ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

Read more

Local News