ජනතාවට විදුලිය සැපයීම රජයේ වගකීමක් : විදුලිබල ඇමති

Share

සෞභාග්‍යයේ දේශයක් කරා යන ගමනේ සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක ප්‍රධානතම අංගය වනුයේ තෘප්තිමත් ජනතාවක්  බවත්, ඒ වෙනුවෙන් මිනිසාගේ මුලික පහසුකම් සපයා දෙමින් ඔවුන්ගේ අයිතිවාසිකම් සුරැකිය යුතු බවත්, විදුලිය යනු මිනිසාගේ මූලික අයිතිවායිකමක් වශයෙන් අපි පිළිගන්නවානම්, ජනතාවට විදුලිය සැපයීම රජයක් වශයෙන් අප සතු වගකීමක් මෙන්ම ඒ වගකීම ඉටුකිරීම අප සතු යුතුකමක් බවත්,  2021 සැමට විදුලිය ව්‍යාපෘතියේ ප්‍රගති සමාලෝචන රැස්වීමයකට සහභාගි වෙමින් විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අවධාරණය කරයි.

 

ඊයේ (20)  පස්වරුවේ විදුලිබල අමාත්‍යාංශ පරිශ්‍රයේ පැවති සැමට විදුලිය ව්‍යාපෘතියේ ප්‍රගති සමාලෝචන රැස්වීමකට සහභාගී වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් දැක්වීය.

සෞභාග්‍යයේ දැක්ම යතාර්තයක් බවට පත්කීමේ මූලිකම පියවරක් වශයෙන්, මෙරට තුල විදුලිය නොමැති නිවාස හදුනාගමින් අදාළ නිවාසයන් වෙත මේ වසර අවසන් වීමට ප්‍රථම විදුලිය ලබාදීමට කඩිනම් පියවර ගතයුතු  බව විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මෙහිදි පැවසීය. මේ වනවිට ශ්‍රී ලංකාවේ විදුලියනය 99.9% ක් වන අතර තවමත් විදුලිය පහසුකම් ලබා නොගත් නිවාස 118975 කි.

එම පිරිස් සහ ඔවුන්ට විදුලිය නොලැබීමට බලපා ඇති හේතු සාධක හදුනාගනිමින්, ඒවාට ස්ථිරසාර පිළියම් යෙදියයුතු බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

මේ වෙනුවෙන් දීපව්‍යාප්තව විසිරී සිටින මෙතෙක් විදුලිය පහසුකම් නොලැබ සිටින අඩුආදායම් ලාභී සහ සමෘද්ධිලාභීන් හදුනාගනිමින්, ඔවුන් මෙතෙක් විදුලි පාරිභෝගිකයන් නොවිමට හේතු සහ ඊට ලබාදිය හැකි විසදුම් ඇතුළත් වාර්තාවක් පෙබරවාරි මස 10 දිනට ප්‍රථම ලබාදීමට පියවර ගන්නා ලෙස සමෘද්ධි අධිකාරියට ‍උපදෙස් දුන් විදුලිබල අමාත්‍යවරයා, අදාළ පිරිස් වෙත විදුලිය ලබාදීමේදී කිසිදු ලාභ අපේක්ෂාවකින් තොරව, වැය වන මුදල පමණක් අය කර  ආළ කාර්යය ඉටුකරන ලෙස ලංකා විදුලිබල මණ්ඩලයේ  සභාපතිවරයාට උපදෙස් දුන්නේය.

මෙම සාකච්ඡාවට සහභාගි වූ සූර්යබල, සුළං සහ ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන  රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අදහස් දක්වමින්, සැමට විදුලිය යන්න තේමා කරගනිමින්, ශ්‍රී ලංකාවාසී සියලු ජනතාවගේ විදුලිය අවශ්‍යතා සම්පූර්ණ කිරීම වෙනුවෙන් කැපවිය යුතු බවත්, අඩු ආදායම්ලාභී පවුල් වෙත විදුලි සබදතා ලබාදීමේදී නිවාස  විදුලි පරිපත සැකසීම ආදි කාර්යයන් වෙනුවෙන් වෘත්තීය පුහුණු අධිකාරියේ මෙන්ම සිවිල් ආරක්ෂක බලකායන්හි ඒ සම්බන්ධව පුහුණුව ලබා ඇති පිරිස් යොදාගැනීමෙන්, ඔවුන්ගේ වෘත්තීය දැනුම පුළුල් වනවාසේම, අඩු ආදායම්ලාභී පවුල් වෙත මූල්‍යමය වශයෙන් එය වඩාත් සහනයක් වනු ඇතැයිද පැවසීය.

ඒ අනුව මේ වනවිට ශ්‍රී ලංකාව තුළ වෙසෙන විදුලිය නොමැති සමෘද්ධිලාභීන් සහ අඩුආදායම්ලාභී පවුල් වෙත මේ වසර අවසන් වීමට ප්‍රථම විදුලිය පහසුකම් ලබාදීමට කටයුතු කරන බවත්,  අදාළ ව්‍යාපෘතිය අප්‍රේල් මස ඇරඹීමට පියවර ගන්නා බවත් අවධාණය කළේය.

මෙම අවස්ථාවට සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ශුද්‍ර මූල්‍ය ස්වයං රැකියා සහ ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ, විදුලිබල අමාත්‍යාංශ ලේකම් වසන්තා පෙරේරා, ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති විජිත හේරත්  යන මහත්මහත්මීන් ඇතුළු අදාළ ආයතනයන්හි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.

Read more

Local News