ඇමති ප්‍රසන්න විදුහල්පතිවරුන්ගෙන් කරන ඉල්ලීම

Share

රට පුරා පවතින කොරෝනා තත්ත්වය හේතුකොට ගෙන වසා දැමුනු පාසල් යලි විවෘත කිරීමේදී පැරණි චක්‍රලේඛ මත හිරවී නොසිට ළමුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාවට ප්‍රමුඛතාව ලබාදී කටයුතු කරන ලෙස සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා විදුහල්පතිවරුන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

 

පාසල් විවෘත කිරීම සිදු කෙරන්නේ රටේ සාමාන්‍ය තත්ත්වය මත නොවන නිසා පැරණි චක්‍රලේඛ මතම පදනම්ව කටයුතු කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවත් දරුවන්ගේ සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට මුල්තැන ලබාදී ප්‍රායෝගිකව කටයුතු කලයුතු බවත් මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ විදුහල්පතිවරුන් සමඟ පාසල් යලි විවෘත කිරීම සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවකදී සඳහන් කර ඇත.

මිනුවන්ගොඩ කලාපයේ පාසල් සෞඛ්‍ය මාර්ගෝපදේශ මත යලි ආරම්භ කිරීම සඳහා රජය රුපියල් ලක්ෂ 95ක මුදලක් වෙන්කර ඇති බව ඇමතිවරයා පවසයි.

ඒ අනුව ළමුන් සංඛ්‍යාව අනුව පාසල් වලට දරුවන්ගේ උෂ්ණත්ව මැනීමේ උපකරණ, අත් සේදීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම හා විෂබීජානුහරණ කටයුතු සිදු කෙරෙනු ඇති

දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීමේ ඕනෑම ක්‍රමවේදයකට රජය එකඟ බවත් ඒ ඒ පාසල් වල තත්ත්වයන් අනුව ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීමේ වගකීම විදුහල්පතිවරුන් සතු බවත් පෙන්වා දුන් ඇමතිවරයා කොවිඩ් හේතුවෙන් රට තුල ක්‍රියාත්මක වන්නේ නව සාමාන්‍යකරණ තත්ත්වයක් බවද පෙන්වා දී තිබේ

මෙම සාකච්ඡාවේදී විදුහල්පතිවරු සිය පාසල් වල සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාත්මක කිරීමේදී මතුවිය හැකි ගැටළු ඇමතිවරයාට ඉදිරිපත් කල අතර ඇමතිවරයා සෞඛ්‍ය හා අධ්‍යාපන බලධාරීන් දුරකතන ඔස්සේ සම්බන්ධ කරමින් ඊට කඩිනම් විසඳුම් ලබාදීමටද කටයුතු කර තිබේ

Read more

Local News