රවී ගේ පෙත්සම සලකා බැලීම මාර්තු 26 වැනිදා

Share

තමන්ව අත්අඩංගුවට ගන්නැයි කොළඹ, කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත්කර තිබෙන වරෙන්තු බලරහිත කරන ලෙස ඉල්ලා හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ඇතුළු හත් දෙනෙකු විසින් ගොනුකර තිබෙන පෙත්සම් විභාග කිරීම සඳහා මාර්තු මස 26 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.

 

2016 වසරේ දී මහ බැංකු බැඳුම්කර නිකුතු දෙකක දී රුපියල් බිලියන 52කට ආසන්න රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගැනීමට නිකුත්කර ඇති වරෙන්තු  බලරහිත කරන ලෙස එම පෙත්සම්වලින් ඉල්ලා තිබේ.

මෙම පෙත්සම් ඉකුත් දෙසැම්බර් මස විභාගයට ගැනීමට නියමිතව තිබුණත් අලුත්කඩේ උපරිමාධිකරණ සංකීර්ණය අවට ප්‍රදේශයේ පැවති නිරෝධායන ඇඳිරි නීති තත්ත්වය හේතුවෙන් එය විභාග කිරීමක් සිදු නොවිණි.

ඒ අනුව එම පෙත්සම් සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද (02) කැඳවූ අවස්ථාවේදී එය යළි මාර්තු මස 26 වනදා විභාගයට ගැනීමට දින නියම කෙරුණි.

හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක, පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමේ අධ්‍යක්ෂවරුන් වන අර්ජුන් ඇලෝෂියස්, ජෙෆ්රි ඇලෝෂියස්, එහි ප්‍රධාන විධායක කසුන් පලිසේන, රන්ජන් හුළුගල්ලේ සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් දෙදෙනෙකු වන එස්. පද්මනාදන් සහ ඉන්දික සමන් කුමාර යන අය විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.

Read more

Local News