යෝජිත වරකාපොළ බස් නැවතුම්පොළ සංවර්ධන ව්‍යාපෘතිය ලබන මාර්තු සිට ඇරඹේ

Share

මේ දක්වා කිසිඳු සංවර්ධන සැලැස්මක් රහිතව නමට පමණක් සීමා වූ සංවර්ධනයකට ලක් ව තිබූ වරකාපොළ නගරය පිළිගත් සහ ක්‍රමවත් රාජ්‍ය සංවර්ධන සැලසුමකට අනුව සංවර්ධනය කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය තීරණය කර ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා මහතා පැවසීය.

 

ඒ අනුව, “යෝජිත වරකාපොළ බස් නැවතුම්පොළ සංවර්ධන ව්‍යාපෘතිය” ලබන මාර්තු මාසයේ සිට ඇරඹීමට නියමිතයි.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් අනුව ක්‍රියාත්මක වන වරකාපොළ නගර සංවර්ධන ක්‍රියාවලිය අදියර දෙකකින් සමන්විත වේ.

එහි පළමු අදියර වන වරකාපොළ බස් නැවතුම්පොළ වැඩ අවසන් කර ජනතා අයිතියට පැවරීමත් සමඟ ම එහි දෙවන අදියර ලෙස වරකාපොළ නගරයට මෙතෙක් අඩුවක්ව පැවති යෝජිත මූල්‍ය හා වාණිජ සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙනු ඇත.

මේ වනවිට ගැසට් කර ඇති වර්ග කිලෝමීටර් 28.28 ක් වන වරකාපොළ නාගරික බල ප්‍රදේශය ද තවදුරටත් සංවර්ධනය කිරීම සඳහා සංවර්ධන ව්‍යාපෘතියට යෝජනාවක් ලෙස ඇතුළත් කර තිබේ.

වරකාපොළ, ඕපාත ග්‍රාම නිලධාරී වසමට අයත් වාරියගොඩ ප්‍රදේශය වරකාපොළ නාගරික බල ප්‍රදේශයට සහ ප්‍රධාන මාර්ගවලට දුරින් පිහිටා තිබීම හේතුවෙන් එම ප්‍රදේශය කුඩා නගර සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ සංවර්ධනය කිරීමට යෝජනාවක් ලෙස ව්‍යාපෘතියට ඇතුළත් කර තිබේ.

වරකාපොළ නගර සංවර්ධනයේ දෙවැනි අදියර එළඹෙන දෙසැම්බර් මාසයේ ආරම්භ වන බව ද නාගරික සංවර්ධන අධිකාරිය සඳහන් කරයි. ඒ සඳහා යෝජිත මූල්‍ය හා වාණිජ සංවර්ධන ව්‍යාපෘතිය සඳහා අක්කර 4.02 ඉඩමක් වෙන්කර තිබේ.

Read more

Local News