අඛණ්ඩව 8වැනි වරටත් ජාතික ස්කොෂ් ශූරතාව රවිඳු ලක්සිරිට

Share

ෂාමිල් වකීල්ට එරෙහිව වට 3-0ක විශිෂ්ට ජයක් ලැබූ රවිඳු ලක්සිරි අඛණ්ඩව අටවැනි වරටත් ජාතික ස්කොෂ් ශූරතාව දිනා ගැනීමට සමත් විය.

 

එස්එස්සී ස්කොෂ් ක්‍රීඩා ශාලාවේ පසුගියදා පැවැති 40 වැනි ජාතික ස්කොෂ් ශූරතාවලියේ පිරිමි ශූරතාව ලක්සිරි දිනා ගනිද්දි එහි කාන්තා ශූරතාව දිනා ගැනීමට සමත් වූයේ චනිත්මා සිනේලි වට 3-2කින් පරාජයට පත් කළ ෆාතුම් ඉසඩීන් විසිනි.

ඇය ජාතික ස්කොෂ් ශූරතාව අඛණ්ඩව දිනා ගත් දෙවැනි අවස්ථාව මෙය වේ.

වසරේ ස්කොෂ් තරග කාලසටහනේ ප්‍රමුඛතම තරගාවලිය වන ජාතික ස්කොෂ් තරගාවලිය ක්‍රීඩක ක්‍රීඩිකාවන් ශ්‍රේණිගත කිරීමේ තරගාවලියක් ලෙස සැලකෙන අතර, මෙවර තරගාවලියට 100කට ආසන්න ක්‍රීඩක ක්‍රීඩිකාවෝ පිරිසක් එක් වූහ.

සමස්ත තරගාවලිය කොවිඩ් වසංගතය හේතුවෙන් සෞඛ්‍ය අංශ විසින් පනවනු ලැබූ මාර්ගෝපදේශ යටතේ පැවැත්විණි.

මෙවර තරගාවලියට විවිධ වයස් කාණ්ඩ 11ක් යටතේ තරග පැවත්වුණු අතර, පිරිමි විවෘත තරගාවලිය සහ කාන්තා විවෘත තරගාවලිය වඩාත්ම අවධානය යොමු වූ තරග ඉසව් බවට පත් විය.

පිරිමි විවෘත තරග අංශයේ අවසන් මහා තරගයට එක් වූ රවිඳු ලක්සිරි සහ ෂාමිල් වකීල් දෙදෙනාම දකුණු ආසියානු ක්‍රීඩා උලෙළේ ලෝකඩ පදක්කම්ලාභීහු වෙති. පසුගිය වසරේ කාන්තා කිරුළ දිනූ ෆාතුම් ඉසඩීන් සමඟ අවසන් මහා තරගයට එක් වූ චනිත්මා සිනේලි වත්මන් කනිෂ්ඨ කාන්තා ශූරිය ද වේ.

ශ්‍රී ලංකා ස්කොෂ් සංගමයේ මෙහෙයවීමෙන් පැවැති ජාතික ස්කොෂ් තරගාවලියේ ප්‍රධාන ආරාධිතයා ලෙස ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා සහභාගි වූ අතර, ත්‍යාග ප්‍රදානෝත්සවය ඒ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

Read more

Local News