හිටපු මුදල් ඇමති රවීට හා අර්ජුන් ඇලෝසියස්ට අධි චෝදනා භාර දීමෙන් පසු ඇප මත මුදා හරී

Share

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක සහ පර්පචුවෙල් ට්‍රෙෂරිස් සමාගමේ අර්ජුන් ඇලෝසියස්ට අද (05) අධි චෝදනා පත්‍ර භාරදීමෙන් පසුව ඔවුන් ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය නියම කළේය.

 

අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී විත්තිකරුවන් දෙදෙනාට අධි චෝදනා පත්‍ර භාරදීමෙන් පසුව ඔවුන් රුපියල් ලක්ෂ 5 බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට මහාධිකරණ විනිසුරුවරයා නියම කළේය.

විත්තිකරුවන්ගේ ඇඟිලි සලකුණු ලබාගෙන වාර්තාවක් කැඳවීමට ද නියම කළ මහාධිකරණ විනිසුරුවරයා නඩු විභාගය අවසන් වන තෙක් විත්තිකරුවන්ට විදේශගතවීම තහනම් කරන බවත් ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට භාරදිය යුතු බවත් නියෝග කෙරිණි.

එම නියෝගයේ පිටපතක් ආගමන හා විගමන පාලකවරයාට සහ කටුනායක ගුවන්තොටුපළ වෙත යොමුකරන ලෙසත් විනිසුරුවරයා නියෝග කළේය.

මෙම නඩුවේ විත්තිකරුවන්ගේ ඇප තැබීමේ කටයුතු සම්පූර්ණ කිරීම සඳහා නඩුව නැවත ලබන 12 වනදා කැඳවීමට මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළ අතර නඩුව විභාග කිරීම සඳහා සියලු කටයුතු සම්පූර්ණකර තිබේදැයි පරික්ෂා කිරීම සඳහා එය අප්‍රේල් මස 01 වනදා කැඳවන ලෙසත් විනිසුරුවරයා විසින් වැඩිදුරටත්  නියෝග කර තිබේ.

2016 වසරේ පෙබරවාරි මස 12 වනදා සහ එම වසරේ සැප්තැම්බර් මස 30 වනදා දක්වා කාලසීමාව තුළ ශ්‍රී ලංකා රජයේ මුදල් අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් මෙම නඩුවේ දෙවන විත්තිකාර අර්ජුන් ඇලෝසියස් මහතා අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කරන වෝල්ට් සහ රෝ ඇසෝසියේට්ස් පෞද්ගලික සමාගමේ නමට ලබාගෙන තිබූ  “මොනාර්ක් නිවාස සංකීර්ණයේ” පිහිටි අංක 5 PH2 දරන නිවසේ පදිංචිව සිටීම තුළින් අල්ලස් පනතේ 19 (ඇ) වගන්තිය යටතේ වරදක් සිදුකර ඇති බවට චෝදනා කරමින් හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා වෙත එම අධිචෝදනා පත්‍රය තුළින් චෝදනා එල්ලකර තිබේ.

මෙම නඩුවේ විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව ගොනුකර තිබෙන සමස්ත අධිචෝදනා සංඛ්‍යාව හයකි. නඩුවේ සාක්ෂිකරුවන් ලෙස පුද්ගලයින් 32 දෙනෙකු නම් කරනු ලැබ සිටිති.  නඩු භාණ්ඩ වශයෙන් ලේඛන 58 ක් ඉදිරිපත් කර තිබේ.

මෙම නඩුවේ දෙවන විත්තිකරු ලෙස නම් කරනු ලැබ සිටින අර්ජුන් ඇලෝසියස් මහතා 2015 වසරේ සිදුවූ මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ ගොනුකර තිබෙන නඩුවේ ද විත්තිකරුවෙකු වශයෙන් නම් කර සිටි.

Read more

Local News