රෝහිත අබේගුණවර්ධනට එරෙහි නඩුවේ වැඩිදුර විභාගය 12 වැනිදාට

Share

අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාට එරෙහිව ඉකුත් යහපාලන රජය සමයේ ගොනු කෙරුණු නඩුවක වැඩිදුර විභාගය ලබන 12 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.

 

එම නඩුව අද (05) කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් එම නඩුවට අදාළව විමර්ශන සිදුකළ විමර්ශන නිලධාරියාගෙන් සාක්ෂි හා හරස් ප්‍රශ්න සටහන්කර ගැනීම සිදුකෙරුණි.

අනතුරුව වැඩිදුර සාක්ෂි සටහන්කර ගැනීම ලබන 12 වනදා සිදුකිරීමට විනිසුරුවරයා නියෝග කළේය.

2004 වසරේ සිට 2006 වසර දක්වා කාලසීමාව තුළ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරමින් රුපියල් මිලියන 41කට අධික මුදල් හා වත්කම් උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් ඉකුත් යහපාලන රජය සමයේදී අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් එම නඩුව ගොනුකර තිබේ.

Read more

Local News