පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වගකීම

Share

අපි කටයුතු කරන්නේ මේ රටේ උරුමය, අනන්‍යතාවය සහ අභිමානය ආරක්ෂා කිරීම සදහායි අපේ වගකීම මෙන්ම යුතුකමයි.. – පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග

 

පුරා විද්‍යා දෙපාර්තමේන්තුව කරන්නේ මේ රටේ උරුමය, අනන්‍යතාවය සහ අභිමානය ආරක්ෂා කිරීම සදහා වන අතර ඔවුන්ගේ වගකීම මෙන්ම යුතුකමෙ වන බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා පැවසුවේය.

ඒ මහතා මේ බව පැවසුවේ අද (05) දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ශ්‍රවණාගාරයේදී පුරාවිද්‍යාව සම්බන්ධව මතුවී ඇති ගැටලු පිළිබදව පැවති විශේෂ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

කුරුන්දමලේ පිළිබදව ඇතිවී තිබෙන ගැටලුව වර්තමාන පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් තමා වෙත පැවරී ඇති විශේෂ අභියෝගයක් මෙන්ම එය අනවශ්‍ය අභියෝගයක් වශයෙන් තමා දකින බව පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේය.

පුරාවිද්‍යාඥයන් වශයෙන් කුරුන්දමලේ විහාරය, මුන්නේශ්වරම් කෝවිල, දළදා මාලිගාව මෙන්ම නල්ලූර් කෝවිල ආදී සියල්ලක් දෙසම එක ලෙස බලන බවත්, පුරා විද්‍යාඥයන් යනු විද්‍යාත්මකව යම්කිසි දෙයක් සොයා බලා ඒ අනූව තීරණ දෙන පිරිසක් බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය. කුරුන්දමලේ කැණීම් ඇරඹුවේ එම ස්ථානයේ ඇති පුරාවිද්‍යාත්මක වැදගත්කම සලකමින් බවත්, එය හින්දු දේවස්ථානයක් වුණා නම් එම ස්ථානයේද වැඩ කිරීමට සූදානම් බවද පැවසුවේය. එක්දහස් නවසිය මුල් ගණන් වල ඉංග්‍රීසි නිලධාරීන් පවා මෙම ස්ථානය බෞද්ධ විහිරස්ථානයක් ලෙස හදුනාගෙන ඇති බවත්, මුලින්ම එච් සී පී බෙල් මහතා යටතේ උතුරු නැගෙනහිර පර්යේෂණ සිදුකළ ජෝන් ස්ටීල් මහතා මෙය අති විශාල බෞද්ධ විහාරස්ථානයක් බවට පැහැදිලිවම සදහන් කර ඇති බවද සදහන් කළේය. එමෙන්ම මුලතිවු දිස්ත්‍රික්කයේ පවතින අතිවිශාල බෞද්ධ ස්මාරකය ලෙසද මෙය හදුන්වා ඇත.

පසුගිය දශක තුනක කාලය පුරා යුද්ධය හේතුවෙන් එම ස්ථානයෙහි වැඩ කටයුතු ආරම්භ කර නොමැති බවත් මේ වන විට යුද්ධය අවසන්ව දශකයක් ඉක්ම ගොස් ඇති බැවින් එහි වැඩ ඇරඹීම යෝග්‍ය බවත් පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේය.

අති විශාල පුරා විද්‍යා ස්ථාන ප්‍රමාණයක් උතුරු නැගෙනහිර ඇති බවද, එම ස්ථාන වලින් වැඩිම ප්‍රමාණයක් බෞද්ධ ස්මාරක වන අතරම කවුරුන් හෝ පිළිගැනීමට කැමති හෝ අකමැති වුවත් සතයය එය වන බවද ඔහු පැවසුවේය. මෙම ස්ථාන විශාල ප්‍රමාණයකට හානි සිදුවී තිබීම කණගාටුවට කරුණකි. දකුණේ විහාරස්ථාන වලද බොහෝ හින්දු ගොඩනැගිලි ඇති බවද ඒවාට හානි සිදු නොවී ඇති අතරම පුරා විද්‍යා දෙපාර්තමේන්තුව ඒවා ආදරයෙන් රැකබලාගන්නා බවද අවාසනාවකට උතුරු නැගෙනහිර සිද්ධස්ථාන වලට හානි වී ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසුවේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා,

හානිකළ දේවල් පිළිසකර කිරීමට අපේ අවධානය වැඩියෙන් යොමුවිය යුතුයි. අපේ උරුමයයි මේ විනාශ වෙන්නේ. ඒ උරුමය දිහා අපි බලන්නේ උතුරු නැගෙනහිර කියන දෘස්ටි කෝණයෙන් නෙමෙයි. මේ පුරාණ රජරට ශිෂ්ටාචාරයේ කොටස්. පුරාණ රජ ශිෂෟටාචාරය පිළිබදව අපි අධ්‍යයනය කරනවා. ගවේෂණය කරනවා. කැණීම් කරනවා. ඒවා මනා ලෙස කළමනාකරණය කරන්න ඉදිරියේදී කටයුතු කරනවා. එහිදී පැරණි යල් පැනගිය ක්‍රමවේද භාවිතා කරනවාද, නැතිනම් නූතන ලෝකය ගමන් කරන ලෙස ගමන් කරනවාද යන්න සිතා බැලිය යුතුයි. සමහරවිට වෙනත් ප්‍රවේශයන් මේ සදහා ගත යුතු වෙනවා. පුරා විද්‍යා ස්ථාන පැරණි ලෙසම පවත්වාගැනීම තුළ තවදුරටත් ඒවා ආරක්ෂා වෙයිද, විනාශ වෙයිද කියා කිරා මැන බලා අලුත් ප්‍රවේශයක් ගැනීමට සිදුවෙයි. මහජනතාවගේ සහාය අවශ්‍යයි මෙම කටයුතු සදහා. එය ලෝකයම පිළිගත් ක්‍රමවේදයක්. එවැනි දේ සදහා ඉදිරියේදී කටයුතු කරනවා.

පසුගිය මාසේ 18 වනදා කුරුන්දමලේ විහාරස්ථානයේ කැණීම් සදහා තමා ඇතුළු පිරිස සහභාගී වුණු බවත්, එහිදී විශාල ස්ථූපයක නටඹුන් හමුවූ බවද පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේය. එම ස්ථූපයේ යූප ස්ථම්භය සොයාගත් බවද, මුල් කාලයේ ස්ථූප වල කොත් කැරැල්ල නොතිබුණු අතර ඒ වෙනුවට පැවති අංගය වූයේ යූප ස්ථම්භය බවත් ප්‍රකාශ කළ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් කියා සිටියේ අටපට්ටම් කුළුණක් වශයෙන් පවතින මෙම අංගය ස්ථූපයේ වඩාත්ම පූජනීයම අංගය වන අතර මෙම අංගය ගරා වැටී තිබී හමුවීම තුළින් මෙය ස්ථූපයක් මෙන්ම බෞද්ධ ආරාමයක නටඹුන් බවත් වඩාත් පැහැදිලි වන බවද ඔහු පැවසුවේය. මෙ පබ්බත විහාර වර්ගයට අයිති ආරාමයක් බව මතුපිට ගවේෂණ වලින් තහවුරු වී ඇත. ඉදිරි වසර කිහිපය තුළ කුරුන්දමලේ පමණක් නොව පුරා විද්‍යා ස්ථාන කිහිපයක්ම සංරක්ෂණයට බලාපොරොත්තු වන බවද ඒ සදහා ප්‍රදේශයේ ජනතා සහාය මෙන්ම විද්වතුන් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් මෙන්ම යුධ හමුදාවේ ශ්‍රම දායකත්වය සහ සහාය ලබාගැනීමට බලාපොරොත්තු වන බවද අනුර මහතුංග මහතා පැවසුවේය.

Read more

Local News