කරුණාඅම්මාන් කළ ප්‍රකාශයකට එරෙහි පෙත්සම ඉල්ලා අස්කරගෙන

Share

යුද හමුදා සෙබළුන් ඝාතනය සම්බන්ධයෙන් ඉකුත් මහ මැතිවරණ සමයේ හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණාඅම්මාන් සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන ලෙස පොලිස්පතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද (09) ඉල්ලා අස්කර ගැනීමෙන් පසුව එය නිෂ්ප්‍රභා කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

 

කඩුවෙල හිටපු නාගරික මන්ත්‍රීවරයෙකු වන බෝසෙත් කලෙහෙ පතිරණ මහතා විසින් පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

පෙත්සම අද එල්.ටී.බී දෙහිදෙනිය,  මුර්දු ප්‍රනාන්දු සහ අචල වෙංගප්පූලි යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියෙහි කැඳවනු ලැබීය.

එහිදී පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ, කරුණා අම්මාන් විසින් සිදුකළ බව කියන ප්‍රකාශය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ නියමයෙන් අධිකරණයට කරුණු වාර්තා කර විමර්ශනයක් ආරම්භ කර ඇති බවට දැනුම් දී ඇති බවය.

එම සිද්ධිය සම්බන්ධයෙන් දැනට විමර්ශනයක් ආරම්භ කර ඇති හෙයින් පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාමට අවශ්‍යතාවයක් මතු නොවන අතර එය ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙස පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම පිළිගත් ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දුන්නේය.

ඉකුත් මහ මැතිවරණ සමයේ අම්පාර පැවති දේශපාලන රැස්වීමක දී අදහස් දැක්වූ හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණාඅම්මාන් විසින් තමා කොටි සංවිධානයේ සිටියදී එක් රැයක දී හමුදා භටයින් සිය ගණනක් මරා දැමීමට කටයුතු කර ඇති බවට ප්‍රකාශයක් සිදුකළ බවත් එම ප්‍රකාශය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් පවත්වන ලෙස පොලිස්පතිවරයාට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් එම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

Read more

Local News