නව සමෘද්ධි ප්‍රතිලාභීන් තෝරා ගැනීමට විනිවිදභාවයෙන් යුතු නව වැඩපිළිවෙළක්

Share

නව සමෘද්ධි ප්‍රතිලාභීන් තෝරා ගැනීමට දේශපාලනයෙන් තොර විනිවිධභාවයෙන් යුතු නව වැඩපිළිවෙළක් නව චක්‍රලේඛය නිකුත් කෙරේ, මාර්තු මස 01 දා සිට ප්‍රතිලාභ ලබා දීම ඇරඹෙයි

 

නව සමෘද්ධිලාභීන් බඳවා ගැනීමේ දී දේශපාලනයෙන් තොර විනිවිධභාවයෙන් යුතු වැඩපිළි‍වෙළක් හඳුන්වා දීමට රජය තීරණය කර තිබේ. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මග පෙන්වීම යටතේ ක්‍රියාත්මක මෙම නව ක්‍රමවේදය යටතේ විවිධ හේතුන් මත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමෙන් ඉවත් යන සමෘද්ධි ප්‍රතිලාභී පවුල් වෙනුවට සුදුසුකම් ලත් නව පවුල් ප්‍රතිලාභීන් ලෙස එක්කර ගැනීමට නියමිත ය.

විෂය භාර රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතාගේ උපදෙස් මත ඒ සඳහා වන චක්‍රලේඛය පසුගිය දා නිකුත් කෙරිණ.

ඒ අනුව කඩිනමින් නව සමෘද්ධිලාභීන් එක් කර ගැනීම ආරම්භ කෙරෙන අතර 2021 මාර්තු මස 01 දා සිට ඔවුන් වෙත සහනාධාර පිරිනැමීමට ආරම්භ කෙරේ.

ඒ අනුව නව සමෘද්ධි ප්‍රතිලාභීන් තෝරා පත් කර ගනු ලබන ක්‍රමවේදය මෙසේ ය.

1. මේ සඳහා සමෘද්ධි ප්‍රතිලාභ අපේක්ෂා කරන පවුල් විසින් අයදුම්පතක් ඉදිරිපත් පත් කළ යුතු අතර සමෘද්ධි සංවර්ධන නිලධාරීවරයා විසින් අදාළ අයදුම්පත් ලේඛනයක් සකස් කළ යුතු වේ.

2. පවුල්වල සාමාජිකයන්ගේ අධ්‍යාපනය, සෞඛ්‍යය, ආර්ථික තත්ත්වය, වත්කම් සහ නිවාස යන තොරතුරු මත ‘ග්‍රාමීය කමිටුව‘ විසින් සුදුස්සන් තෝරා පත් කර ගනු ලැබේ.

ග්‍රාමීය කමිටුවේ කැඳවුම්කරු ලෙස නිල බලයෙන් ප්‍රදේශයේ සමෘද්ධි සංවර්ධන නිලධාරීවරයා පත් වන අතර, විහාරාධිපති හිමිනමක් හෝ ආගමික ස්ථානයක ප්‍රධානියෙක්, පළාත් පාලන ආයතනයක මහජන නියෝජිතයෙක්, ග්‍රාම නිලධාරී, කෘෂිකර්ම සංවර්ධන නිලධාරී, පවුල් සෞඛ්‍ය නිලධාරී හෝ ප්‍රජා සංවිධානය නායකයෙක් යන අයගෙන් පස් දෙනෙක් එම කමිටුවේ සාමාජිකත්වය දරති.

3. එසේ සකස් කරන ලද ලැයිස්තුව සෑම මසකම 15 වැනි දිනට පෙර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ඉදිරිපත් කෙරේ.

4. එසේ ඉදිරිපත් කරනු ලබන ලැයිස්තු අතුරින් නව සමෘද්ධි සහනාධාරලාභීන් තෝරා පත් කර ගැනීමේ බලය ප්‍රාදේශීය ලේකම්වරයා සතුවේ.‍

5. කෙසේ වෙතත් කිසියම් අයදුම්කරුවකු තමන් තේරී පත් නොවීම සම්බන්ධයෙන් සෑහීමකට පත් නොවේ නම් ඒ පිළිබඳ දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ, දිස්ත්‍රික් ලේකම් හෝ සමෘද්ධි අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත අභියාචනා කළ හැකි ය. එම තීරණය සම්බන්ධයෙන් ද සෑහීමකට පත් නොවන්නේ නම් සමෘද්ධි අධ්‍යක්ෂජනරාල්වරයා වෙත ද ඉල්ලීමක් කිරීමේ හැකියාව ද පවතී.

සමෘද්ධි පවුල් ලක්ෂ දෙකක් සවිබල ගැන්වීමේ වැඩසටහන ද මේ වන විට ක්‍රියාත්මක අතර සවිබල ගැන්වෙන පවුල් තව දුරටත් සමෘද්ධි ව්‍යාපාරය තුළ රඳවා ගනිමින් ඔවුන් වෙනුවෙන් වෙනත් විශේෂ සහන වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ.

Read more

Local News