ෆුල් ෆේස් හෙල්මට් භාවිත කරන්නන්ට එරෙහිව නීතිමය පියවර නොගන්නැයි නීතිපති උපදෙස්

Share

සම්පූර්ණයෙන්ම මුහුණු ආවරණය කළ ආරක්ෂිත හිස් වැසුම් පළඳින යතුරුපැදිකරුවන්ට එරෙහිව නීතිමය පියවර නොගන්නා ලෙස නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයා වෙත උපදෙස් ලබාදී ඇතැයි අද (16) අභියාචනාධිකරණය හමුවේ අනාවරණය විය.

 

වැල්ලවාය ප්‍රදේශයේ පදිංචි නාමල් ප්‍රසංග නැමැති යතුරුපැදිකරුවෙකු විසින් ඉදිරිපත් කළ රීට් පෙත්සමක් අභියාචනාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් පාරින්ද රණසිංහ මහතා මෙම දැනුම්දීම සිදුකළේය.

පෙත්සම්කරු සඳහන් කර තිබුණේ සම්පූර්ණයෙන්ම මුහුණු ආවරණය කළ ආරක්ෂිත හිස් වැසුමක් පැළඳ ගමන් කළේ යැයි චෝදනා කරමින් වැල්ලවාය පොලීසිය මගින් තමාට එරෙහිව වැල්ලවාය මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුවක් ගොනු කළ බවය.

2017 වසරේ අංක 2 දරණ මෝටර් යතුරුපැදි ආරක්ෂක හිස්වැසුම් රෙගුලාසි යටතේ මෙම නඩුව ගොනු කර ඇතැයි සඳහන් කළ පෙත්සම්කරු එම රෙගුලාසි නිසි පරිදි පාර්ලිමේන්තුව මගින් අනුමත කර නොමැති බවත් එය නීතියට පටහැනි බව සඳහන් කර තිබේ.

ඒ අනුව එම රෙගුලාසි යටතේ තමන්ට එරෙහිව නඩු පැවරීම නීතියට පටහැනි බව පෙත්සම්කරු අධිකරණය හමුවේ පෙන්වා දුන්නේය.

Read more

Local News