කොවිඩ් එන්නතේ පළමු මාත්‍රාවෙන් සිදුවන දේ

Share

මේ වන විට ලොව පුරා භාවිත කරනු ලබන කොරෝනා මර්දන එන්නත්වලින් කොරෝනා වෛරසයට එරෙහිව සම්පූර්ණ ප‍්‍රතිශක්තිය ලැබෙන්නේ එම එන්නතේ දෙවැනි මාත‍්‍රාව ලබා ගෙන සති දෙකක කාලයක් ගත වූ පසුව බව ඇමරිකානු රෝග පාලනය හා නිවාරණය පිළිබඳ මධ්‍යස්ථානය සදහන් කරයි.

 

මෙහිදී මාත‍්‍රා දෙකකින් යුත් කොරෝනා මර්දන එන්නතකින් දෙවැනි මාත‍්‍රාව ලබා ගැනීමෙන් සති දෙකකට පසුවද, තනි මාත‍්‍රාවක් සහිත කොරෝනා මර්දන එන්නතකින් එම මාත‍්‍රාව ලබා ගෙන සති දෙකකට පසුවද පුද්ගලයකු තුළ කොරෝනා වෛරසයට එරෙහිව පූර්ණ ප‍්‍රතිශක්තියක් ගොඩනැගෙන බව එම මධ්‍යස්ථානය විසින් ඉකුත් සති අන්තයේ නිවේදනය කර තිබේ.

දැනට ලොව පුරා භාවිත වෙමින් පවතින කොරෝනා මර්දන එන්නත්වල පළමු හා දෙවැනි මාත‍්‍රා අතර තිබෙන පරතරය එන්නතෙන් එන්නතට වෙනස් වන අතර, එන්නතකින් පළමු මාත‍්‍රාව ලබා ගත් පසුව දෙවැනි මාත‍්‍රාව ලබා ගන්නා තෙක් අතර කාලයේදී එන්නත්ලාභියාට කොරෝනා වෛරසය ආසාදනය වීමේ හැකියාව තිබෙන බව බටහිර පර්යේෂකයෝ සදහන් කරයි.

මේ හේතුවෙන් යමෙකු කොරෝනා එන්නතකින් පළමු මාත‍්‍රාව ලබා ගත් පසුවද පොදු ස්ථානවල ගැවසීමේදී මුහුණු ආවරණයක් (මාස්ක් පැළඳීම), එකිනෙකා අතර මීටරයකවත් දුරක් පවත්වාගැනීම, දෑත් සබන් හෝ විෂබීජනාශක ද්‍රව්‍යයක් යොදා නිතර පිරිසිදු කරගැනීම යන පියවර අනුගමනය කළ යුතු වෙයි.

දැනට කොරෝනා වෛරසයට එරෙහිව වැඩි ආරක්ෂාවක් ලබා දෙන බව පිළිගැනෙන ෆයිසර් බයෝටෙක් එන්නතේ පළමු මාත‍්‍රාව ලබා ගත් පසු දෙවැනි මාත‍්‍රාව ලබා ගත යුත්තේ දින 21 කාලයකට පසුව වන අතර ‘මොඩර්නා’ එන්නතේ පළමු හා දෙවැනි මාත‍්‍රාවන් අතර පරතරය දින 28කි.

Read more

Local News