නුවරඑළියට දැවැන්තම සංවර්ධන සැලැස්මක්

Share

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ සහ නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ උපදෙස් අනුව නුවරඑළිය දිස්ත්‍රික්කයේ නගර රැසක් ආවරණය කරමින් දැවැන්ත කඩිනම් සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් අප්‍රේල් මස 23 වන දින නාගරික සංවර්ධන අධිකාරිය විසින් ආරම්භ කරන බව නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශය සඳහන් කරයි.

“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව රට පුරා නගර සංවර්ධන ව්‍යාපෘති සිදු කිරීම යටතේ මෙම සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාවට නැංවේ.

බත්තරමුල්ල, සුහුරුපාය නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ දී පසුගිය දා පැවති නුවරඑළිය ඉදිරි නගර සංවර්ධන ව්‍යාපෘති සාකච්ඡාවේ දී මෙම තොරතුරු හෙළි විය.

නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය සී.බී. රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති, වරලත් වාස්තු විද්‍යාඥ හර්ෂාන් ද සිල්වා, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, වරලත් නගර නිර්මාණ ශිල්පි ප්‍රසාද් රණවීර යන මහත්වරුන් ඇතුළු නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභා, නගර සභා, මහ නගර සභා සභාපතිවරු ඇතුළු නිලධාරීහු පිරිසක් සහභාගි වී සිටියහ.

යෝජිත මෙම සංවර්ධන ව්‍යාපෘතිය යටතේ නුවරඑළිය, පූඩලුඔය, නානුඔය, ගිනිගත්හේන, වලපනේ, රිකිල්ලගස්කඩ, පුස්සැල්ලාව, කිතුල්ගල යන නගර සහ ඒ ආශ්‍රිත ප්‍රදේශ සංවර්ධනය කිරීමට නියමිතයි.

ඒ අනුව නුවරඑළිය නගරයේ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත සංවර්ධන කටයුතු පැරණි තුරග තරග (රේස් කෝස්) පිටිය මූලික කරගනිමින් ඇරඹීමට නාගරික සංවර්ධන අධිකාරිය අපේක්ෂා කරයි.

“නුවරඑළිය පැරණි තුරග තරග පිටිය ප්‍රතිසංවර්ධනය කිරීමේ පළමු අදියර” නමින් ක්‍රියාත්මක වන තුරග තරග පිටිය ව්‍යාපෘතියට නව අංග රැසක් එක්කර ඇති බව සංවර්ධන මෙහෙයුම් වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය සී. බී. රත්නායක මහතා ප්‍රකාශ කරයි.

නුවරඑළිය ප්‍රදේශයේ සංචාරය සඳහා පැමිණෙන දේශීය – විදේශීය සංචාරකයන් ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක කෙරෙන තුරග තරග පිටිය ප්‍රතිසංවර්ධනය ව්‍යාපෘතිය යටතේ වසර පුරාම නුවරඑළිය ප්‍රදේශය ප්‍රීතිමත් පාරාදීසයක් බවට පත් කිරීම තම අරමුණ වන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේය.

ඒ යටතේ නුවරඑළිය ප්‍රදේශයේ ජනතාවගේ ආදායම් වැඩි වී ජනතාවගේ ජීවිතය නගා සිටුවීම සඳහා නව රැකියා සහ ව්‍යාපාර අවස්ථා බිහිවන බව අමාත්‍යවරයා විසින් පෙන්වා දෙන ලදී.

ඒ අනුව පවතින තුරග තරග පිටිය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව සංවර්ධනය කර පාපන්දු පිටියක්, මලල ක්‍රීඩා පුහුණු පිටියක්, වොලිබෝල් පිටි 02 ක්, බාස්කට්බෝල් පිටි 02 ක්, ක්‍රිකට් පිටියක්, කේබල් කාර් ව්‍යාපෘතියක්, මංතීරුවක්, අශ්වරේස් මංතීරුවක් සහ සැණකෙළි සංකීර්ණයක්, අශ්වයින් ගාල් කර තැබීමට ස්ථානයක්, අවන්හල් ජාලයක් ඉදිරිකිරීමට නියමිතයි.

මෙම සියළු ඉදිකිරීම් තුරග තරග පිටිය පිටත ඇති මංතීරුවලට ඇතුළත පිටියේ ඉදිකෙරේ. මෙයට අමතරව ග්‍රෙගරි වැව අසල උණුසුම් ජල තටාකයක් ද ඉදිකිරීමට පියවර ගෙන තිබේ.

තවද තුරග තරග පිටිය ආශ්‍රිත ප්‍රදේශයේ කාර් රේස් ධාවන පථයක් ඉදිකිරීමට සැලසුම් කර ඇත.

තුරග තරග පිටියේ අශ්වයින් බලාගන්නා සහ ඒ අවට පදිංචිව සිටින පැල්පත්වාසීන් ඉවත් කර ඔවුන්ට එම පැල්පත් නිවාස වෙනුවට සුදුසු නිවාස ලබාදීමේ වැඩපිළිවෙලක් යෝජිත සංවර්ධන ක්‍රියාවලියට ඇතුළත් කර ඇත. නානුඔය නගරයේ සිට නුවරඑලිය නගරය දක්වා තවත් විශේෂ ව්‍යාපෘතියක් ද ක්‍රියාත්මක කෙරේ.

එය කේබල් කාර් ව්‍යාපෘතියකි. මෙම කේබල් කාර් ව්‍යාපෘතිය සංචාරකයින්ට නැවුම් අත්දැකීමක් ගෙන එනු ඇතැයි නාගරික සංවර්ධන අධිකාරිය විශ්වාසය පළ කරයි. පොළොව මට්ටමට ඉහළින් ගමන් කිරීම තුළින් පරිසරයේ චමත්කාරය විඳ ගැනීමටත්, ඉහළ අහසේ සිට අවට ප්‍රදේශ විවිධ කෝණයන්ගෙන් වෙනස්වන ප්‍රදේශයන් නැරඹීමටත් අවස්ථාව උදාකර දීමේ අරමුණින් මෙම කේබල් කාර් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.

වලපනේ නගර සංවර්ධනය සඳහා ව්‍යාපෘති 04 ක් ද යෝජනා වී ඇත. මූලික ඉදිකිරීම් ලෙස වලපනේ නගරයට ගොඩනැගිල්ලක් ස්ථාපිත කෙරේ. ස්ථාපිත කෙරෙන මෙම ගොඩනැගිල්ලේ වෙළඳ සහ පරිපාලන අංශ ස්ථාපිත කිරීමට නියමිතයි. මෙයට අමතරව රථගාලක් සහ බස් නැවතුම්පොළක් සංවර්ධන කටයුතු සඳහා සෙසු ව්‍යාපෘතීන්ට ඇතුලත් වේ.

යෝජිත ඉදිකිරීම් සිදු කෙරෙන මෙම ඉඩමේ හිමිකාරීත්වය වලපනේ ප්‍රාදේශීය සභාව සතුවන අතර ඉඩමේ ප්‍රමාණය පර්චස් 145 කි. මහා භාණ්ඩාගාරයේ මුදල් මත ක්‍රියාත්මක වන වලපනේ නගර සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තු ගතකර ඇති මුදල රුපියල් මිලියන 400 කි. 2021 මැයි 21 වෙනි දින ඇරඹෙන මෙහි ඉදිකිරීම් කටයුතු 2022 දෙසැම්බර් 30 දිනෙන් අවසන් කිරීමට නියමිත අතර 2021 වසර සඳහා රුපියල් මිලියන 100 ක් වෙන් කර තිබේ.

යෝජිත තවත් ව්‍යාපෘතියක් වන පූඩලුඔය බස් නැවතුම්පොළ කොත්මලේ ප්‍රාදේශීය සභාව සතු ඉඩමක ඉදිකෙරේ. මේ සඳහා පර්චස් 40 ක ඉඩමක් දැනටමත් වෙන් කර තිබේ. ව්‍යාපෘතියට රුපියල් මිලියන 50 ක් වැය කිරීමට නියමිත අතර, එම මුදල ද මහා භාණ්ඩාගාරය මඟින් ලබාදෙයි.

රිකිල්ලගස්කඩ නගර සංවර්ධන සැලැසුම අනෙක් ව්‍යාපෘතියයි. හගුරන්කෙත විවිධ සේවා සමූපාකාර සංගමයට අයත් සංවර්ධනයට යෝජිත ඉඩමේ ප්‍රමාණය අක්කර 02 කි. මේ යටතේ සංවර්ධන ව්‍යාපෘති 02 ක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ඒ වෙළඳ ගොඩනැගිල්ලක් ඉදිකිරීම සහ මාර්ග පුළුල් කිරීම යන සංවර්ධන කටයුතුයි.

ගිනිගත්හේන නව නගර සංවර්ධන ව්‍යාපෘතිය මෙහි තවත් ව්‍යාපෘතියකි. අඹගමුව ප්‍රාදේශීය බල ප්‍රදේශය තුළ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ. අඹගමුව ප්‍රාදේශීය සභාව සහ අඹගමුව පොලිසිය සතු මෙම සංවර්ධනයට යෝජිත ඉඩම ප්‍රමාණයෙන් හෙක්ටයාර 01 ක් වන අතර මේ සඳහා ද මහා භාණ්ඩාගාරය මඟින් ලබාදෙන රුපියල් මිලියන 150 ක මූල්‍ය දායකත්වයෙන් මෙහි ඉදි කිරීම් සිදු කෙරේ. ඒ යටතේ 2021 වසර සඳහා රුපියල් මිලියන 50 ක් වැය කිරීමට නියමිතයි.

නාවලපිටිය – හැටන් මහා මාර්ගය ප්‍රතිසංවර්ධන ව්‍යාපෘතිය ද මේ යටතේ ක්‍රියාත්මක කෙරේ. එයට අමතරව විවිධ සේවාවන් සපයන සාප්පු සංකීර්ණයක් ද ඉදි කිරීමට නියමිතයි.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව, කොටගල, නුවරඑළිය, කොත්මලේ ප්‍රාදේශීය සභා 04 සහ හැටන් – තලවකැලේ නගර සභාව, නුවරඑළිය මහ නගර සභාව මඟින් වෙන වෙනම සංවර්ධනය කරන ව්‍යාපෘති රැසක් ද මෙයට ඇතුළත්ව තිබේ.

ඒ යටතේ ගිනිගත්හේන, හැටන්, කොටගල, තලවකැලේ, නුවරඑළිය, පූඩලුඔය, රම්බොඩ සහ තලවන්තැන්න නගර සංවර්ධනය කිරීමට ද නියමිතයි.

මහා භාණ්ඩාගාරයේ මූල්‍ය දායකත්වයෙන් ක්‍රියාත්මක කෙරෙන මෙම ව්‍යාපෘතියේ සමස්ත වියදම රුපියල් මිලියන 200 කි. ඉන් රුපියල් මිලියන 75 ක් 2021 වසර සඳහා වෙන්කර ඇත.

යෝජිත ව්‍යාපෘති යටතේ ඇළ මාර්ග පැති බැමි සැකසීම, මාර්ග දිගුකිරීම, අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම, මාර්ග හා වේදිකා සැකසීම, නාගරික භූමිය අලංකාර කිරීම, සුදුසු ස්ථානවල විවේකී පහසුව සඳහා ස්ථාන සැකසීම, පවත්නා භූමිය සහ වීදිය නැවත සංවර්ධනය කිරීම ක්‍රියාත්මක කිරීමට නියමිතයි. මෙයට අමතරව විදුලිය, සන්නිවේදනය, තැපැල් සහ වෙනත් ක්ෂේත්‍ර ද සංවර්ධනය කිරීමට නියමිත අතර පරිසර හිතකාමීත්වය ගෙන දෙන ගස් වර්ග සිටුවීමට ද අදහස් කෙරේ.

නුවරඑළිය දිස්ත්‍රික්කය සංචාරකයන් බහුලව ගැවසෙන ප්‍රදේශයක් වීම හේතුවෙන් ජාත්‍යන්තර සංචාරක අවධානය යොමු කරවා ගැනීම ඉලක්ක කර සංවර්ධන කටයුතු සිදු කිරීම මෙහි මූලික අරමුණයි.

ඒ යටතේ සියලු සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රමිතිය සහ ගුණාත්මකභාවය සුරැකෙන පරිදි මෙම ව්‍යාපෘති සියල්ල සැලසුම් කර තිබේ.

සියලු සංවර්ධන කටයුතු සඳහා ප්‍රධාන සැලැස්මක් සැකසීම මේ වන විටත් අරඹා ඇති අතර අනෙකුත් නගර සංවර්ධන ව්‍යාපෘතිවලට වඩා නුවරඑළිය ප්‍රදේශයේ සංවර්ධන ව්‍යාපෘතිය විශේෂ ව්‍යාපෘතියක් වන බව මෙම තොරතුරු අනුව පැහැදිළි වෙයි.

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙසින් සංවර්ධනය කිරීමට නියමිත නුවරඑළිය නගරය සංවර්ධනය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතාගේ මෙහෙයවීමෙන් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති, වරලත් වාස්තු විද්‍යාඥ හර්ෂාන් ද සිල්වා, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, වරලත් නගර නිර්මාණ ශිල්පි ප්‍රසාද් රණවීර යන මහත්වරුන්ගේ අධීක්ෂණයෙන් නාගරික සංවර්ධන අධිකාරිය මඟින් මෙම සංවර්ධන කටයුතු සිදු කරනු ලබයි.

Read more

Local News