සුදු වෑන් නඩුව අප්‍රේල් 28 වැනිදාට කැඳවයි

Share

සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධයෙන් ගොනුකර ඇති නඩුව අප්‍රේල් මස 28 වනදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කළේය. 

එම නඩුව අද (02) කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඉදිරියේදී කැඳවනු ලැබීය.

එම මාධ්‍ය සාකච්ඡාව පවත්වා එවක ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට අගතියක් සිදුකළේ යැයි චෝදනා කරමින් එවකට අමාත්‍ය රාජිත සේනාරත්න සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් රූමි ට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබේ. 

එහිදී රජයේ නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැමිණිල්ල විසින් විත්තියට ලබාදිය යුතු ලේඛන ලබාදීම සඳහා මාසයක කාලයක් ලබාදෙන ලෙස ඉල්ලීම් කළේය.

එම ඉල්ලීම පිළිගත් විනිසුරුවරයා නඩුව නැවත අප්‍රේල් මස 28 වනදා කැඳවීමට නියම කළේය.

ඉකුත් 2019 වසරේ නොවැම්බර් 10 වනදා කොළඹ පැවති අදාළ මාධ්‍ය සාකච්ඡාව හරහා එවක ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට අගතියක් සිදු කිරීමේ අරමුණින් බොරු සාක්ෂි නිර්මාණය කිරීම, ජනාධිපතිවරණයේ ප්‍රතිඵල වලට බලපෑමක් ඇතිවිය හැකි ආකාරයේ දූෂිත ක්‍රියාවක් සිදුකිරීම සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහය යටතේ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් රූමි යන දෙදෙනාට එරෙහිව මෙම චෝදනා එල්ල කර තිබේ.

මෙම මාධ්‍ය සාකච්ඡාවකට එවක ඇමති රාජිත සේනාරත්න මහතා සමග එක්වු අතුල සංජීව මදනායක සහ සකලවල්ලි ආරච්චිගේ සරත් කුමාර යන පුද්ගලයින් දෙදෙනා සුදු වෑන් වලින් පුද්ගලයින් පැහැරගෙන යාම, මරා  දැමීම සහ කොල්ලකෑම් යන සිද්ධීන් සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු රැසක් අනාවරණය කර තිබූ අතර ඊට එවක ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සම්බන්ධයක් තිබූ බවටත් ඔවුන් විසින් එම මාධ්‍ය සාකච්ඡාවේදී කරුණු ප්‍රකාශ කර තිබුණි.

එමෙන්ම කොටි සංවිධානය සතු රත්රන් තොග කොල්ලකෑම් සම්බන්ධයෙන් ද ඔවුන් විසින් අදාළ මාධ්‍ය සාකච්ඡාවේදී කරුණු ප්‍රකාශ කර තිබූණි.

ඒ තුළින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයෙකු වන ගෝඨාභය රාජපක්ෂ මහතාට අගතියක් සිදුකර  ලංකා දණ්ඩ නිති විග්‍රහය සහ ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කරමින් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපතිවරයාට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා එල්ලකර තිබේ.

Read more

Local News