හිස කදින් වෙන්කළ කතගේ තොරතුරු අනාවරණයට : සැකකරු උප පොලිස්පරීක්ෂකවරයෙකු සියදිවි නසා ගනී

Share

පසුගියදා වේල්ල වීදිය ප්‍රදේශයේ දී ට්‍රැවලින් බෑගයක දමා තිබියදී සොයාගත් හිස නොමැති කාන්තා මළ සිරුර කුරුවිට තෙප්පනාව ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි අවිවාහක කාන්තාවකගේ බවට තොරතුරු හෙලි වී තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

එම මළ සිරුර මේ වන විට ඩී.එන්.ඒ.පරීක්ෂණයක් සඳහා යොමුකර ඇති බව ද පොලීසිය සඳහන් කළේය.

සි.සි.ටීවී දර්ශන ඔස්සේ ලබාගත් තොරතුරුවලට අනුව වැඩිදුරටත් විමර්ශන සිදුකළ පොලීසිය බෑගය රැගෙන යන පුද්ගලයා කාන්තාවක් සමග හංවැල්ල ප්‍රදේශයේ ලැගුම්හලකට ගමන් ගන්නා ආකාරය නිරීක්ෂණය කර තිබේ.

පසුව එම පුද්ගලයා පමණක් ලැගුම්හලෙන් පිටතට පැමිණ මාර්ග අංක 143 ඔස්සේ ධාවනය වන හංවැල්ල – පිටකොටුව බස් රථයකට නැග ගමන්ගන්නා ආකාරය ද හෙළි වි ඇත.

ඒ ඔස්සේ සිදුකළ විමර්ශනයේ දී එම කාන්තාව පිළිබඳ තොරතුරු අනාවරණය කරගැනීමට හැකි වු බව අජිත් රෝහණ මහතා පැවසීය.

එම සැකකාර පිරිමි පුද්ගලයා බුත්තල පොලීසියට අනුයුක්තව සේවය කරන නිවාඩු ලබා සිටි උප පොලිස් පරීක්ෂකවරයෙකු බවට ද පොලීසිය තොරතුරු අනාවරණය කරගෙන තිබේ.

මියගිය කාන්තාව සමග ඇති කරගත් අනියම් සම්බන්ධතාවයක් හේතුවෙන් ඇති වු ප්‍රතිඵලයක් ලෙස එම ඝාතනය සිදුව ඇති අතර වේල්ල වීදිය ප්‍රදේශයේ දී ට්‍රැවලින් බෑගයක දමා තිබියදී සොයාගත් හිස නොමැති කාන්තා මළ සිරුර සම්බන්ධයෙන් පොලිස් විමර්ශනවලට අවශ්‍යව සිටි සැකකාර උප පොලිස් පරීක්ෂකවරයාගේ මළ සිරුර සොයාගෙන තිබේ.

ඔහුගේ නිවස පිහිටි බඩල්කුඹුර, පහේ කණුව ප්‍රදේශයේ, කැලෑවක ගසක එල්ලෙමින් තිබිය දී මළ සිරුර සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

එම මළ සිරුර ආසන්නයේ තිබී වස කුප්පියක් ද සොයාගෙන ඇති අතර, ඔහු වස පානය කර සියදිවි හානි කරගැනීමට ඇතැයි පොලීසිය සැක පළ කරයි.

එලෙස මියගොස් ඇත්තේ 52 හැවිරිදි, බුත්තල පොලීසියට අනුයුක්තව සේවය කරන නිවාඩු ලබා සිටි උප පොලිස් පරීක්ෂකවරයෙකි.

පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි

Read more

Local News