කොවිඩ් ආසාදිත මළ සිරුරු භූමදානයට එරෙහිව ඉරණතිව් දූපත්වාසින් විරෝධතාවයකට

Share

කිළිනොච්චිය ඉරණතිව් දූපතේ කොරෝනා ආසාදිත මළ සිරුරු භූමදානයට ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් එම දූපත්වාසීන් අද (03) දිනයේ විරෝධතාවයක නිරත වීමට සූදානම් වන බවට වාර්තා වෙයි.

ඉරණතිව් දූපතේ මේ වන විට පවුල් 108කට අයත් පුද්ගලයින් 335ක් වාසය කරන අතර ඔවුන්ගේ ප්‍රධාන ජීවනෝපාය වන්නේ ධීවර කර්මාන්තය යි.

යුද්දෙන් පසුව 2017 වසරේ දී දුෂ්කරතා රැසක් හමුවේ ඉරණතිව් දූපතේ තමන් පදිංචියට ගොස් මේ වන විට ජීවිකාව රැගෙන යන අවස්ථාවේ දී තමන් ජීවත් වන දූපතේ කිසිවෙකුටත් කොරෝනා අවදානමක් නොමැති අතර මෙලෙස රජය විසින් ඉරණතිව් දුපතේ කොරෝනා ආසාදිත සිරුරු භූමදානයට ගත් තීරණයට දැඩි ලෙස තමන් විරෝධය පළ කරන බව ඉරණතිව් වැසියන් සදහන් කරයි.

කෙසේවෙතත් මේ දක්වාත් දූපතේ කිසිදු පුද්ගලයෙකු කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන නොමැති අතර කොරෝනා ආසාදිතව මිය යන පුද්ගලයින්ගේ සිරුරු තම දූපතේ භූමදානය කිරීමට තමන් දැඩි විරෝධයක් දක්වන බව ඔවුන් පවසති.

කොරෝනා ආසාදිත මෘත ශරීර වළ දැමීම සඳහා ඉරනතිව් දූපත හඳුනාගෙන ඇති බවට ඊයේ (02) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේය.

Read more

Local News