ලොව ප්‍රථම වරට 100%ක් කොරෝනා වෛරසය නසන මුහුණු ආවරණයක් පේරාදෙණිය සරසවියෙන්

Share

පේරාදෙණිය විශ්ව විද්‍යාලය මඟින් නිෂ්පාදනය කරන ලද Respirone Nano AV99 මුහුණු ආවරණය නිල වශයෙන් එළි දැක්වීමේ අවස්ථාව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(03) දින මහනුවරදී පැවැත්වූ බව වෙළෙඳ අමාත්‍යාංශ මාධ්‍ය ලේකම් මහේෂ් වික්‍රම මහතා පැවසීය.

මෙහිදී අදහස් දක්වමින් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කර ඇත්තේ විදේශ විනිමය උපයන නව මාර්ග සකසමින් මෙරට පමණක් නොව මුළු ලොවටම සෙත සලසන නිෂ්පාදනයන් ශ්‍රී ලංකාවෙන් බිහි කළ යුතු බවයි. එමෙන්ම දේශීය ඥානය භාවිතා කරමින්, නව නිපැයුම් ක්ෂේත්‍රය සඳහා දිනෙන් දින නව අදහස් හා යෝජනා තුළින් ශ්‍රී ලාංකේය සන්නාමය ලොවට ගෙනයාම ප්‍රායෝගික යතාර්ථයක් බවට පත් කරමින් පේරාදෙණිය විශ්ව විද්‍යාලය මඟින්, ලොව ප්‍රථම වතාවට නිෂ්පාදනය කරන ලද Respirone Nano AV99 මුහුණු ආවරණය පිළිබඳ සම්පූර්ණ ගෞරවය ශ්‍රී ලාංකේය නිදහස් අධ්‍යාපනය වෙත හිමි විය යුතු බවයි.

නිදහස් අධ්‍යාපනයේ අග්‍රඵලය නෙලා ගනිමින් ආචාර්ය මහාචාර්යවරුන් බවට පත්වී බටහිරකරණයේ අයුතු ප්‍රායෝගිකත්වය පසෙක ලා දේශීයව මෙවැනි නිෂ්පාදන බිහි කිරීමට සමත් වීම පිළිබඳව ජනාධිපතිතුමා ප්‍රමුඛ වත්මන් රජයේ ගෞරවය සියළු දේශීය නව නිෂ්පාදකයන් වෙත හිමි වන බව ද ,ශ්‍රී ලාංකිකයන්ගේ නව නිපැයුම් හැකියාවන් නැවත අවදි කිරීමට තාක්ෂණ විෂය ධාරාව හඳුන්වා දීම සමඟින් මෙරට ඇති වූ නව නිපැයුම් ක්ෂේත්‍ර‌යේ අද්විතීය වෙනස පිළිබඳව ද ,රැකියාවට හා ඊට අවශ්‍ය දැනුම අතර ඇති ව්‍යුහාත්මක අසමතුලිතතාවය නිසි ලෙස වෙනස් කිරීමට වර්තමානයේ දී හැකිව ඇති ආකාරයද අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කරන ලදී.

මෙහිදී, Respirone Nano AV99 ජාත්‍යන්තර වෙළෙඳපොළට ගෙනයාම හා නිෂ්පාදන කාර්යය සම්බන්ධව ඉසබෙලා ලංකා පුද්ගලික සමාගම හා පේරාදෙණිය විශ්ව විද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමකට ද එළඹී ඇත.

මෙම මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ,

කොවිඩ් 19 වසංගතය මුළු ලෝකයම පුරා පැතිරුණු දරුණු වසංගත තත්ත්වයක්. මෙම ව්‍යසනයෙන් ලෝකයේ ජනතාව මුදවා ගැනීම සඳහා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යා අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ගාමිණී රාජපක්ෂ මැතිතුමාත් ඒ හා සම්බන්ධ විද්වත් පිරිසත් දීර්ඝ කාලීනව සිදු කරන ලද පර්යේෂණ වල ප්‍රතිඵලයක් වශයෙන් ලෝක ඉතිහාසයේ ප්‍රථම වතාවට 100%ක්ම වෛරස නසන පරිසර හිතකාමී මුහුණු ආවරණයක් නව නිපැයුමක් ලෙස ඉදිරිපත් වෙලා තිබෙනවා. නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිඵලයක් වශයෙන් ජාතික විශ්ව විද්‍යාල පද්ධතිය තුළින් මෙවැනි නිර්මාණයක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් අපි ශ්‍රී ලාංකිකයන් වශයෙන් ආඩම්බරවනවා.මෙම පර්යේෂණයේ ඇති වැදගත්කම හා මෙම නිෂ්පාදනය මෙම වසංගත තත්ත්වය හමුවේ ලොවට වැදගත් වන අයුරු අග්‍රාමාත්‍යතුමා ඇතුළු මහජන නියෝජිතයන් රැසකගේ අවදානය යොමු කිරීමටද කටයුතු කළා.ඒ අනුව විෂය භාර අමාත්‍යවරයා වශයෙන් අපනයන සංවර්ධන මණ්ඩලය සහ රජයේ වාණිජ දෙපාර්තමේන්තුව හරහා ලොව පුරා පැතිරුණු අපේ තානාපති කාර්යාල වල වෙළෙඳ කොමසාරිස්වරුන් මගින් මේ මුහුණු ආවරණය සම්බන්ධව ඒ ඒ රටවල අදාළ පාර්ශවයන් දැනුවත් කිරීම සඳහා කටයුතු කිරීමට අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කරනවා. එමෙන්ම මෙම නිෂ්පාදන දේශීය වෙළෙඳ පොළට කඩිනමින් නිකුත් කිරීමටද නියමිතයි.අපනයන ද්‍රව්‍ය සමඟ මෙවැනි නිෂ්පාදන එක්වීමෙන් අපේ රටට නව විදේශ විනිමය උපයා ගැනීමේ මාර්ගයක්ද සකස් වෙනවා. එමෙන්ම මෙය හුදෙක්ම වර්තමානයේ පවත්නා කොවිඩ් වසංගත පැතිරීමේ අවදානම නිසි පරිදි අවම කරමින්,සේදුම් වාර විස්සක් දක්වා භාවිතා කළ හැකි හා කල්පවත්නා ගුණාත්මක භාවයකින් යුක්ත වන බැවින් මෙම නිෂ්පාදනය ජීවන වියදමට යහපත් බලපෑමක් ඇති කරවන්නක්ද වනු ඇතැයි අපි විශ්වාස කරනවා.

අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ දැඩි කැපවීම හා මඟ පෙන්වීමත් වෙළෙඳ පොලක් සකසා ගැනීමට හා මෙම නිෂ්පාදනය ජාත්‍යන්තර මට්ටමට ගෙන යාමට ක්ෂේත්‍රය තුල විශේෂාංග දැනුමකින් හෙබි සරසවි අපනයන ආයතන ප්‍රධානී හේමන්ත පෙරේරා මහතාගේ සහයෝගය ලබා දීමට කටයුතු කිරීමත් තුළ මෙම නිෂ්පාදනය සාර්ථකව ගෝලීය වෙළෙඳ පොළ දක්වා ගෙනයාමට හැකි වූ බවත්, පසුගියදා මෙම නිෂ්පාදනය සම්බන්ධව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අවදානය යොමු කරවමින් රාජ්‍ය අනුග්‍රහයෙන් මෙම නිෂ්පාදනය සිදු කිරීමට අවස්ථාව සලසා දීම පිළිබඳවත් අමාත්‍යතුමා වෙත සිය ස්තූතිය පළ කරන බවද පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ Respirone Nano AV99 මුහුණු ආවරණය නිෂ්පාදන කණ්ඩායමෙහි ප්‍රධානී මහාචාර්ය ගාමිණී රාජපක්ෂ මහතා පවසා ඇත.

මෙම අවස්තාව සඳහා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපකුලපතිතුමා,නියෝජ්‍ය උපකුලපතිතුමා,සියලුම පීඨාධිපතිවරුන්,මහාචාර්යවරුන්,ආචාර්යවරුන් හා නිෂ්පාදන කණ්ඩායම ද, ඉසබෙලා ලංකා පුද්ගලික සමාගමේ සභාපතිතුමා ඇතුළු නිලධාරීන් ද සහභාගී වූ බව මහේෂ් මහතා පැවසීය.

Read more

Local News