වී මිලදී ගැනීමේ ජාතික ක්‍රියාන්විතය

Share

රජයට වී සංචිතයක් පවත්වා ගැනීමට තරඟකාරි මිලට වී මිලදී ගැනීමේ ජාතික ක්‍රියාන්විතය තවත් ශක්තිමත් කිරීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා උපදෙස් ලබා දී තිබේ. 

ඒ අනුව 2021 මාර්තු 08 වන දා සිට 2021 අප්‍රේල් 7වන දා දක්වා මසක් තුළ වී මෙට්‍රික්ටොන් ලක්ෂ දෙකක් ගොවිබිමටම ගොස් මිලදී ගන්නා ලෙස අමාත්‍යවරයා අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දී ඇත. 

අනුරාධපුරය, මඩකලපුව, අම්පාර, පොළොන්නරුව, හම්බන්තොට, කුරුණෑගල යන දිස්ත්‍රික් 6ට මෙහිදී ප්‍රමුඛත්වය ලබා දී තිබේ. වී අලෙවි මණ්ඩලයේ ප්‍රදේශීය කළමනාකරුවන් 6ක් සහකාර ප්‍රදේශීය කළමනාකරුවන් 60ක්, කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීන් 300ක් මෙම ක්‍රියාන්විතයට එක්වනු ඇත. 

මේ සඳහා ලොරි රථ 60ක් යොදාගෙන දෛනිකව වී මෙට්‍රික්ටොන් 6000ක් ගොවියාගෙන් තරඟකාරී මිලට මිලදී ගැනීම සැලසුමවේ. තෙත වී මිලදී ගැනීමටත් ඒ මොහොතේම ගොවියාගේ අතට මුදල් ගෙවිමට පියවර ගන්නා ලෙසත් අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා උපදෙස් ලබා දුන්නේය. 

වී මිලදී ගැනීමේ ජාතික ක්‍රියාන්විතය ට සම්බන්ධ ඒ ඒ ආයතන ප්‍රධානීන් කෘෂිකර්ම අමාත්‍යාංශයට කැඳවා අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දී තිබුනි. මුදලාලිගේ සල්ලි වලට සහල් හා වී මාෆියාව එල්ල කරන තර්ජන අභියෝග ලෙස සලකමින්ලකෝටි 2කට වැඩි ජනතාවට සාධාරණ මිලට හාල් ලබා දීමට මෙම වැඩපිළිවෙල සාර්ථකව සිදුකරන ලෙස ද අමාත්‍යවරයා මෙහිදී උපදෙස් ලබා දී ඇත. 

Read more

Local News