සා/පෙළ විභාගය අදින් අවසන් : පාසල් ආශ්‍රිතව සිවිල් ඇඳුමින් පොලිස් නිලධාරීන් යෙදවීමේ වැඩපිළිවෙලක්

Share

2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද(10) අවසන් වෙයි.

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය දින 10 ක් පුරාවට මධ්‍යස්ථාන 4513 කදී පැවැත්විය.

මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පාසල් සහ පෞද්ගලික අයදුම්කරුවන් හය ලක්ෂ විසි දෙදහස් තුන්සිය පනස් එක් දෙනෙකු පෙනී සිටියේය.

අද දිනයේ විභාගය අවසන් වූ පසු , සිසුන් සාමකාමීව නිවෙස් වෙත යා යුතු බව විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා අවධාරණය කළේය.

එලෙස උපදෙස් පිළිනොපැඳ විනය විරෝධීව හැසිරෙන සිසුන්ට එරෙහිව , නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව ද ඔහු ප්‍රකාශ කළේය.

අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ අවසන් දිනය වන අද (10) දින පාසල් ආශ්‍රිතව සහ අවට සිසුන්ගේ ක්‍රියාකාරීත්වය අධීක්ෂණය සඳහා සිවිල් ඇඳුමින් සැරසී පොලිස් නිලධාරීන් යෙදවීමේ වැඩපිළිවෙලක් සකස් කර තිබෙන බවත්, එම නිසා කිසිඳු අනිසි ක්‍රියාවක් සිදු නොකර විභාගය අවසන් වූ වහාම සිය නිවෙස් වෙත ගමන් කරන ලෙසත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරයි.

වැඩිදුරටත් අදහස් දක්වන නීතිඥ අජිත් රෝහණ මහතා පවසන්නේ පාසල් ආශ්‍රිතව නිරන්තර නිල ඇඳුමින් සැරසී පොලිස් ජංගම සේවයක් ක්‍රියාත්මක වන බවයි.

එමෙන්ම විභාගය අවසන් වන වේලාවන්හිදී පොලිස් නිලධාරීන් විභාග මධ්‍යස්ථාන ආශ්‍රිතව සිටින බවත්ය. තවද සිවිල් ඇඳුමින් සැරසුනු නිලධාරීන් විසින් කළහකාරී ලෙස හැසිරෙන සිසුන් හඳුනාගෙන ඔවුන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය

Read more

Local News