මෙරට තෙවන කොවිඩ් රැල්ලක් පිළිබද අනතුරු ඇඟවීමක්

මෙරට කොරෝනා තෙවන රැල්ලක් ඇති විමේ අවදානමක් පිළිබද ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අනතුරු අඟවයි.

එළඹෙන උත්සව සමයේ දී රජය විසින් නිසි මාර්ගෝපදේශ යටතේ කටයුතු නොකරන්නේ නම්, මහා ව්‍යවසනයකට මුහුණදීමට සිදුවිය හැකි බව එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.

ඒ මහතා වැඩිදුරටත් පවසන්නේ “දැනට රටේ පවතින තත්ත්වය අනුව කිසිදු නිරෝධායන තත්ත්වයක් සංචරණ සීමා සඳහා බලපාන අයුරින් අපට නීති නිකුත් කරලා නෑ. සංචරණ සීමා සාමාන්‍ය පරිදි රට තුළ ක්‍රියාත්මක වෙනවා. මේ තත්ත්වය හමුවේ තමයි අපි පාස්කු උත්සවය හා නව අලුත් අවුරුදු උත්සවය සමරන්න සැරසෙන්නේ. විශේෂයෙන්ම බ්‍රසීලය වගේ රටවල්වල බලාපොරොත්තු නොවන ආකාරයෙන් කොවිඩ් -19 ආසාදනය ඉතාම සීඝ්‍රයෙන් පැතිර යමින් තියෙන අවස්ථාවක අපි පාස්කු උත්සවය හා නව අලුත් අවුරුදු උත්සවය සමරන්න සැරසෙන්නේ. ඒ අපි මේ මොහොත් අනතුරු අඟවනවා. ඉදිරියේ දී එන පාස්කු උත්සවය හා නව අලුත් අවුරුදු උත්සවය සඳහා රජය හා සෞඛ්‍ය අමාත්‍යාංශය නිසි මාර්ගෝපදේශ හදලා කටයුතු කරේ නැතිනම් අපිට අලුත් අවුරුද්දෙන් පස්සේ තුන්වන කොවිඩ් රැල්ලක මහා ව්‍යසනයකට මුහුණදෙන්න සිද්දවෙයි කියලා අනතුරු ඇඟවනවා.“ යනුවෙනි.

එමෙන්ම ජනතාව හැකිතාක් සෞඛ්‍ය උපදෙස් අනුගමනය කළ යුතු බවත් සෞඛ්‍ය අංශ පවසයි.

මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සදහන් කළේ සෞඛ්‍ය නීති රීතින් කඩ කරන පිරිස් වෙත දැඩිව නීතිය ක්‍රියාත්මක කරනා බවයි.