ඉඩම් වංචා නඩුවෙන් වාස් ගුණවර්ධන සහ ඔහුගේ බිරිඳ නිදොස් කොට නිදහස් කෙරේ

Share

ව්‍යාජ ඔප්පුුවක් සකස් කර මහරගම ප්‍රදේශයේ අක්කර 1 1/2ක ඉඩමක් පවරා ගත්තේ යැයි චෝදනා කරමින් දැනට මරණීය දණ්ඩනය නියම වී සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන සහ ඔහුගේ බිරිඳට එරෙහිව ගොනුකර තිබෙන නඩුවකින් ඔවුුන්ව නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැදිගේ මහතා අද (15) නියෝග කළේය.

මෙම නඩුව සම්බන්ධයෙන් අධිකරණය හමුවේ මූලික විරෝධතා ඉදිරිපත්කළ විත්තිකරුවන් වෙනුවෙන් පෙනීසිටි නීතිඥ ජාලිය සමරසිංහ මහතා එම නඩුවට පාදක වන අපරාධය සිදුවී ඇතැයි පැවසෙන්නේ 1996 වසරේ බව සඳහන් කළේය.

ඒ අනුව මෙම අපරාධ සිදුවී මේ වන විට වසර 20 කට වැඩි කාලයක් ගත වී ඇති බවත් යම් අපරාධයක් සිදු වී වසර 20 කින් පසුව නඩු පැවරීමට හැකියාවක් නොමැති බවට නීතිමය ප්‍රතිපාදනයක් පවතින බව පෙන්වා දුන් නීතිඥ සමරසිංහ මහතා ඒ අනුව විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඒ පිළිබඳව කරුණු අධ්‍යයනය කිරීමෙන් පසුව විත්තිකරුවන්ට එරෙහිව ගොනුකළ චෝදනා පත්‍රය ඉල්ලා අස්කර ගන්නා බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා දැනුම් දුන්නේය.

 අනතුරුව වාස් ගුණවර්ධන සහ ඔහුගේ බිරිඳ ශාමිලා ප්‍රියදර්ශණී පෙරේරා යන අය නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය නියම කළේය.

Read more

Local News