ශ්‍රී ලංකාව 96 ලෝක කුසලානය දිනා අදට වසර 25ක් සපිරේ

Share

1996 වර්ෂයේ මාර්තු 17 වැනිදා දිනය ශ්‍රී ලංකාවට විශේෂිත දිනයකි.

ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ හැරයුම් ලක්ෂණයක් සනිටුවන් කල 96 ලෝක කුසලාන ජයග්‍රහණය මෙරටට හිමි කරගැනීමට සමත් වීම හේතුවෙන්.

එම ලෝක කුසලාන ජයග්‍රහණයට අදට වසර 25 ක් සපිරෙන අතර 1996 වර්ෂයේ මාර්තු මස 17 වෙනි දින පාකිස්තානයේ ලාහෝර් ගඩාෆි ක්‍රීඩාංගනයේ පැවැත්වුණු මෙම අවසන් මහා තරගය ශ්‍රී ලාංකීය නාමය ලෝකයට ගෙන ගිය අපුරු අවස්ථාවකි.

අර්ජුන රණතුංග ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම ලබාගත් එම ඉතිහාසගත ජයග්‍රහණයට අදට වසර 25ක් ගත වුවත් එහි වටිනාකමනම් තවමත් අඩු වී නොමැත.

1996 පෙබරවාරි 14 වැනි දා ආරම්භ කළ 6 වන ලෝක ක්‍රිකට් කුසලානය එම වසරේ මාර්තු 17 වැනි දා දක්වා පකිස්ථානය, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව කේන්ද්‍ර කර ගනිමින් පැවැත්විය.

තරගාවලිය පුරාවටම ඉහළ දක්ෂතා දැක්වූ ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් පූර්ව තරගයේදී ඉන්දියාව පරාජය කරමින් අවසන් මහා තරගයට පැමිණියේය

අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදීන් වූයේ මාර්ක් ටේලර්ගේ නායකත්වයෙන් යුත් ප්‍රබල ඔස්ට්‍රේලියා කණ්ඩායමයි.

අවසන් මහා තරගයේදී ලෝකයේ වැඩි දෙනෙකුගේ මෙන්ම ලෝක විස්තර විචාරකයින්ගේ පවා වැඩි අවධානයක් සහ වැඩි ගෞරව බුහුමන් හිමිව තිබුණේ ප්‍රබල ඔස්ට්‍රේලියා කණ්ඩායමට වීම විශේෂත්වයකි.

96 ලෝක ලෝක කුසලාන අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායක අර්ජුන රණතුංග සමත් විය.

ඒ, අනුව ඔහු ප්‍රථමයෙන් පන්දුවට පහරදීම සඳහා ඔස්ට්‍රේලියාවට ආරාධනා කළේය.

තරගයේ විනිසුරුවන් ලෙස බටහිර ඉන්දීය කොදෙව්හී ස්ටීව් බක්නර් සහ එංගලන්තයේ ඩේවිව් ශෙපර්ට් කටයුතු කළේය.

බටහිර ඉන්දීය කොදෙව්හී ක්ල්යිඩ් ලොයිඩ් අවසන් තරගයේ තීරකයා විය.

මාර්ක් වෝ සහ මාර්ක් ටේලර් ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසියේය.

ඔවුන් දෙදෙනාගේ පළමු කඩුල්ලේ සබඳතාවය ලකුණු 36කට සීමා කරමින් මාක් වෝ ලකුණු 12කට දවා ගැනීමට චමින්ද වාස් සමත් විය.

අනතුරුව මාර්ක් ටේලර් සමග එක් වූ රිකී පොන්ටිං දෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 101ක අගනා වටිනා සබඳතාවයක් ගොඩනැංවිය.

නමුත් අරවින්ද ද සිල්වාගේ ප්‍රබල පන්දු යැවීම සහ සනත් ජයසූරියගේ දක්ෂ උඩ පන්දු රැකීම හමුවේ මාර්ක් ටේලර් ලකුණු 72කට දැවී ගියේය.

අනතුරුව රිකී පොන්ටිං ද ලකුණු 45කට දැවී ගියේය.

රොමේෂ් කළුවිතාරණගේ විශිෂ්ට ස්ටම්ප් කිරීම හමුවේ ශේන් වෝන් ට ලබාගත හැකි වූයේ ලකුණු 2ක් පමණි.

ස්ටුවට් ලෝ ලකුණු 22කට සහ ඉයන් හීලි ලකුණු 2කට දැවී ගියේය.

මයිකල් බෙවන් නොදැවී ලකුණු 36ක් ලබා ගැනීමට සමත් විය.

ඒ අනුව, ඔස්ට්‍රේලියාව නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 7ක් දැවී ලබාගත් ලකුණු ගණන 241කි.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ උප නායක අරවින්ද ද සිල්වා පන්දුවාර 9කදී ලකුණු 42කට කඩුලු 3ක් දවා ගත්තේය.

චමින්ද වාස්, මුත්තයියා මුරලිදරන්, කුමාර ධර්මසේන සහ සනත් ජයසූරිය අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියේය.

අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීම සඳහා එවකට ප්‍රබල ආරම්භක පිතිකරුවන් යුගලය වූ සනත් ජයසූරිය සහ රොමේෂ් කළුවිතාරණ පිටියට පිවිසියේය.

නමුත් ඔවුන් දෙදෙනාට එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවිය හැකි වූයේ ලකුණු 12ක සබඳතාවයක් පමණි.

එදින ප්‍රබල ආරම්භක පිතිකරු සනත් ජයසූරිය ලකුණු 9කට අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී ගියේය.

කළුවිතාරණට එදින ලබාගත හැකි වූයේ ලකුණු 6ක් පමණි.

ශ්‍රී ලංකා ඉනිම ලකුණු 6ක් ලෙස සටහන් වනවිට දෙවන කඩුල්ල ලෙස රොමේෂ් කළුවිතාරණ ද දැවී ගියේය.

අනතුරුව අසංක ගුරුසිංහ සහ අරවින්ද ද සිල්වා එක්ව ශ්‍රී ලංකාවේ ජයග්‍රහණ බලාපොරොත්තුව ඉහළ නංවමින් 3 වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 125ක සබඳතාවයක් ගොඩනැංවීමට සමත් විය.

අසංක ගුරුසිංහ පන්දු 99කදී ලකුණු 65ක් ලබා ගත්තේය.

ඊට 4 පහරේ 6ක් සහ එක් හයේ පහරක් ඇතුළත් විය.

පසුව උප නායක අරවින්ද සමග එක්වූ නායක අර්ජුන රණතුංග ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රාහී ඉලක්කයක් කරා රැගෙන ගියේය.

ඔවුන් දෙදෙනා එක්ව සිව්වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 97ක නොබිඳුණු සබඳතාවයක් ගොඩනංවමින් 1996 ලෝක ක්‍රිකට් මිණි කිරුළ ශ්‍රී ලංකාවට දිනා දුන්නේය.

විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ අරවින්ද පන්දු 124කදී නොදැවී ලකුණු 107ක් ලබා ගත්තේය.

ඊට හතරේ පහර 13ක් ඇතුලත් විය.

අර්ජුන පන්දු 37කදී නොදැවී ලකුණු 47ක් ලබා ගත්තේය.

ඊට හතරේ පහර 4ක් සහ එක් හයේ පහරක් ඇතුළත් විය.

පෝල් රයිෆල් සහ ඩෙමියන් ෆෙලේමින් අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියේය.

අවසානයේදී පන්දුවාර 46යි පන්දු 2ක් අවසානයේදී කඩුලු 3ක් පමණක් දැවී තිබියදී අවසන් මහා තරගය ජයගත් අර්ජුන ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම 96 ලෝක කුසලානය තමන් සතු කර ගැනීමට සමත් විය.

අවසන් තරගයේ වීරයා සම්මානය අරවින්ද ද සිල්වා ට හිමි වූ අතර තරගාවලියේ වීරයා සම්මානය සනත් ජයසූරිය විසින් දිනාගනු ලැබිණි.

96 ලෝක කුසලාන ජයග්‍රහණයෙන් පසුව ලෝක ක්‍රිකට් ප්‍රජාවගේ අවධානය දැඩි ලෙස ශ්‍රී ලංකාව කෙරෙහි යොමු විය.

පසුකාලීනව පැවති 2007 සහ 2011 ලෝක කුසලාන තරගාවලියන්හිදී ශ්‍රී ලංකාව අවසන් තරගය දක්වා ගමන් කළත් එහිදී ශූරතාවට හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට නොහැකි විය.

1996 ලෝක කුසලානයට සහභාගි වූ 14 දෙනෙකුගෙන් ශ්‍රී ලංකා සංචිතයේ මෙසේය.

01 – අර්ජුන රණතුංග (නායක)
02 – අරවින්ද ද සිල්වා (උපනායක)
03 – රොෂාන් මහානාම
04 – උපුල් චන්දන
05 – කුමාර ධර්මසේන
06 – අසංක ගුරුසිංහ
07 – සනත් ජයසූරිය
08 – රොමේෂ් කළුවිතාරණ
09 – මාවන් අතපත්තු 
10 – මුත්තයියා මුරලිදරන්
11 – රවින්ද්‍ර පුෂ්පකුමාර
12 – හෂාන් තිලකරත්න
13 – චමින්ද වාස්
14 – ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ

1996 ලෝක කුසලාන අවසන් මහා තරගේ ලකුණු පුවරුව

96-world-cup-score-card

Read more

Local News