විජයකලා සම්බන්ධයෙන් වු පැමිණිල්ල සැප්තැම්බර් 10 වැනිදා යළි කැඳවයි

Share

එල්ටීටීඊ සංවිධානය යළි නගා සිටුවිය යුතු බවට ප්‍රකාශයක් සිදුකළේ යැයි සැක කෙරෙන හිටපු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් මහත්මිය සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳ ව නීතිපතිවරයාගෙන් උපදෙස් විමසා ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.

මෙම පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේ මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන්කර ඊට අදාළ ගොනු නිතිපති දෙපාර්තමේන්තුව වෙත යොමුකර ඇති බවය.

නීතිපති උපදෙස් මෙතෙක් ලැබී නොමැති බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳහන් කළේය.

අනතුරුව පැමිණිල්ල නැවත සැප්තැම්බර් මස 10 වනදා කැඳවීමට නියම කළ මහෙස්ත්‍රාත්වරයා එදින පරීක්ෂණවල ප්‍රගතිය වාර්ථා කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

2018 වසරේ ජුලි මස දෙවන දා යාපනය වීරසිංහම් ශාලාවේ පැවති රැස්වීමක දී අදහස් දක්වමින් හිටපු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් මහත්මිය එල්ටීටීඊ සංවිධානය යළි නගා සිටිය යුතු බවට ප්‍රකාශයක් සිදුකළ බව සඳහන් වේ.

එමගින් ජාතීන් අතර අසමගියක් නිර්මාණය කර සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පනත යටතේ වරදක් සිදුකළේ යැයි සැකපිට ඇය අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගැනුනි.

Read more

Local News