කොළඹ ආකේඩ් පරිශ්‍රයෙන් නව අංග රැසක් සමඟ ගුණාත්මක සේවයක් (ඡායාරූප)

Share

කොළඹ ආකේඩ් පරිශ්‍රය පෞද්ගලික පොදු සහයෝගිතාවය යටතේ වැඩිදියුණු කර නව අංග රැසක් හඳුන්වා දී එමඟින් ජනතාවට වඩාත් ගුණාත්මක සේවාවක් සැපයීමට නාගරික සංවර්ධන අධිකාරිය තීරණය කරයි.

වර්තමාන අග්‍රාමාත්‍ය එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ රජය යටතේ එවකට රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සිටියදී මෙම ආකේඩ් නිදහස් චතුරස්‍ර සංකීරණය ඉදිකරන ලදී. මෙය ප්‍රථම වතාවට බදු දීම සඳහා ලංකාවේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරික ආයතනයක් වන සොෆ්ට්ලොජික් සමාගම සහ නාගරික සංවර්ධන අධිකාරිය පසුගිය දා කුලී බදු ගිවිසුමකට අත්සන් තැබීය. පසුගිය යහපාලන රජය යටතේ මෙම ආකේඩ් පරිශ්‍රය නිසියාකාරව නඩත්තු කර තිබුණේ නැත.

බත්තරමුල්ල, සුහුරුපාය නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ දී මෙම බදු ගිවිසුම අත්සන් තැබිණ. වසර 10 ක කාලයකට යටත්ව ක්‍රියාත්මක වන මෙම බදු ගිවිසුමට නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති, වරලත් වාස්තු විද්‍යාඥ හර්ෂාන් ද සිල්වා, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, වරලත් නගර නිර්මාණ ශිල්පි ප්‍රසාද් රණවීර සහ සොෆ්ට්ලොජික් සමාගමේ සභාපති අශෝක් පතිරගේ, සොෆ්ට්ලොජික් සමාගමේ උප සභාපති හරේෂ් කයිමාර් යන මහත්වරුන් අත්සන් තැබිණ.

මෙහිදී අත්සන් තැබූ බදු ගිවිසුම නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා මහතා සහ සොෆ්ට්ලොජික් සමාගමේ සභාපති අශෝක් පතිරගේ යන මහත්වරුන් අතර හුවමාරු කෙරිණ.අත්සන් කළ බදු ගිවිසුම වසර 10 ක කාලයකට බල පැවැත්වෙයි. ඒ අනුව ආකේඩ් පරිශ්‍රයේ අයිතිය හැර, එහි සියලු කටයුතු නිදහසේ කිරීමේ අයිතිය සොෆ්ට්ලොජික් සමාගමට හිමිවිණ.ඒ යටතේ කළමනාකරණය, නඩත්තුව, මෙහෙයුම්, ගොඩනැගිලි භාවිතය ඇතුළු සියලු සේවාවන් පවත්වාගෙන යාමට අවසරය හිමි වෙයි. තව ද පරිශ්‍රය සඳහා සුදුසු ව්‍යාපාර ස්ථාන ඇති කිරීම, මුදල් පාලනය ඇතුළත් අවස්ථාවන්වල ද හිමිකම පැවරෙයි.

අක්කර හතරහමාරක විශාලත්වයකින් යුත් ආකේඩ් පරිශ්‍රය කඩ කාමර 42 කින් සමන්විතයි. පශ්චාත් යුධ සමයේ ශ්‍රී ලංකාවට කඩිනම් සංවර්ධන සැලැස්මක් ඇති කිරීම උදෙසා නගර සංවර්ධනය කිරීම කෙරෙහි මූලික අවධානය යොමු කෙරිණ.

ඒ යටතේ වත්මන් කොළඹ නගරය, පැරණි කොළඹ නගරය ලෙස යළි ස්ථාපිත කිරීමත්, පැරණි කොළඹ පැවති ගොඩනැගිලි සම්ප්‍රදායක් සංරක්ෂණය කර පවත්වාගෙන යාමේ අවශ්‍යතාවයක් මතුවිණ. ඒ අනුව නිදහස් චතුරශ්‍ර පරිශ්‍රය සහ ඒ අවට ප්‍රදේශ පැරණි බව සුරකිමින් ජනතාවට නිදහසේ ගැවසිය හැකි විවෘත ප්‍රදේශ ලෙස පවත්වාගෙන යාම සඳහා ආකේඩ් පරිශ්‍රය සකස් කෙරිණ.

වඩාත් නූතන නගර සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කරමින් පැරණි සහ පෞරාණික බව රකිමින් ලාංකික ජන සමාජය හඳුන්වා තිබූ දූපත් වැසියන් යන නාමයෙන් මිදීම මෙහි තවත් එක් අරමුණක් වී තිබේ.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා මහතා සඳහන් කළේ නාගරික සංවර්ධන අධිකාරියට අයත් ආකේඩ් නිදහස් චතුරශ්‍රය සොෆ්ට්ලොජික් සමාගමට වාර්ෂිකව ගෙවන බද්දකට යටත්ව වසර 10 කට බදු දෙන බවයි.

“අපගේ විශ්වාසය ඔවුන් මෙය දියුණු කරන බවටයි. ආකේඩය දැන් සිටින තත්ත්වයෙන් නික්මී, අතිශය සාර්ථක ඉදිරි දියුණු ගමනක් අරඹනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. ඔවුන්ගේ එම අභිලාෂයත්, වඩාත් වෙනස් ක්‍රමයට සකස් කර ඇති සැලසුම් සහ අධිෂ්ඨානයත් සාර්ථක කර ගැනීමට අපගේ මෙම සුභ පැතුම් ද ඉවහල් වනු ඇති බවට අපි විශ්වාස කරනවා”
යනුවෙන් ද නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා මහතා වැඩිදුරටත් පැවසීය.


වසර 10 ක කාලයක් තුළ සොෆ්ට්ලොජික් සමාගමට ආකේඩ් නිදහස් චතුරශ්‍රය ලබා දෙන්නේ ගිවිසුමකට යටත්වයි. එම ගිවිසුමට අදාළව සොෆ්ට්ලොජික් සමාගමට නිදහසේ ව්‍යාපාර කටයුතු මෙහෙයවීමට හැකියි.
ආකේඩ් පරිශ්‍රය තුළ සිටින එකිනෙකට වෙනස් වූ ව්‍යාපාර ස්ථාන සහ ව්‍යාපාර හිමියන් දිරිමත් කිරීම, ව්‍යාපාරයන් දියුණු තත්ත්වයකට පත්කිරීම යන ප්‍රධාන අරමුණු යටතේ කොළඹ නිදහස් චතුරශ්‍රයේ පිහිටි නාගරික සංවර්ධන අධිකාරියට අයත් ආකේඩ් සංකීර්ණය, ව්‍යාපාර ලෝකයේ දැවැන්ත සමාගමක් වන සොෆ්ට්ලොජික් සමාගමට බදු දීමෙන් ඉටුවන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය සඳහන් කරයි.

සාම්ප්‍රදායික බව, නව අලෙවියන් සීමා මායිම් පුළුල් නොකරන සහ පාරිභෝගික අවශ්‍යතා හඳුනා ගනිමින් වඩා ලාභදායී මෙන්ම ගුණාත්මක සේවාවක් සියලු ගනුදෙනුකරුවන්ට සොෆ්ට්ලොජික් ආයතනය ලබා දෙනු ඇතැයි ද නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය විශ්වාස කරයි.

ආකේඩ් පරිශ්‍රයේ තවදුරටත් රැඳී සිටින ව්‍යාපාර හිමියන් ආරක්ෂා කරගනිමින් හා එම ව්‍යාපාර ස්ථානයන් වඩාත් දියුණු කරමින් වඩා තරගකාරී ව්‍යාපාරික අවස්ථාවක් හඳුන්වාදීමට සොෆ්ට්ලොජික් සමාගම ද බලාපොරොත්තුවේ.

සොෆ්ට්ලොජික් පෞද්ගලික සමාගමේ සභාපති අශෝක් පතිරගේ මහතා මෙහිදී සඳහන් කළේ කොළඹ ආකේඩ් පරිශ්‍රය සුඛෝපභෝගී වෙළඳපළක් බවට පත්කිරීමට බලාපොරොත්තුව වන බවයි.

“කොළඹ ආකේඩ් පරිශ්‍රය යනු කොළඹින් සොයාගත හැකි හොඳම ගොඩනැගිල්ලයි. ආකේඩ් නිදහස් චතුරස්‍රය සොෆ්ට්ලොජික් සමාගමට නාගරික සංවර්ධන අධිකාරිය යටත් බද්දට ලබාදීම පී.පී.ඒ. හෙවත් පෞද්ගලික පොදු සහයෝගිතාව අර්ථ ගැන්වීමට ලබාදිය හැකි හොඳම උදාරණයයි. ඒ ගැන අපට සැබැවින්ම අඩම්බර විය හැකියි. මෙම ආකේඩ් පරිශ්‍රය අති සුඛෝපභෝගී වෙළඳ සංකීර්ණයක් ලෙස දියුණු කිරීම අපගේ අභිලාෂයයි. අප විශ්වාස කරන්නේ මෙම ක්‍රියාවලිය විනිවිදභාවයකින් කළ යුතු බවයි. මෙහි ආරම්භයේ සිට අවසානය දක්වා විනිවිදභාවය ආරක්ෂා කිරීමේ වගකීම අප සතුයි. අප සමාගම මඟින් මෙම කටයුතු සිදු කරනු ලබන්නේ විදේශිකයන් සඳහා ම නෙමෙයි. ශ්‍රී ලාංකිකයන් උදෙසාත් එය ක්‍රියාත්මකයි. නැවුම් ආකාරයකට එළිමහන් උත්සව, උසස් තත්ත්වය ප්‍රමිති සහගත විවාහ මංගල උත්සව සඳහාත් අපගේ සැලසුම් ක්‍රියාත්මකයි. ඉහළම තත්ත්වයේ හෝටල් ද එම සැලසුමට අයත් වෙනවා. අපට මෙම සියල්ල එක් රැයකින් කළ නොහැකි. වසර තුන හතරක් ගත විය හැකියි. අපට ඔබ සැමගේ සහයෝගය ඒ සඳහා අවශ්‍යයි. නාගරික සංවර්ධන අධිකාරිය සමඟ එක්ව පෞද්ගලික පොදු සහයෝගීතාවයෙන් කටයුතු කිරීමෙන් ද එම සහයෝගය අපට ලැබෙන බව අපගේ විශ්වාසයයි”යනුවෙන් ද සොෆ්ට්ලොජික් පෞද්ගලික සමාගමේ සභාපති අශෝක් පතිරගේ මහතා ප්‍රකාශ කළේය.

විශේෂයෙන් ම දිනෙන් දින අලුත් වන ව්‍යාපාරික ලෝකය හඳුනාගැනීමට ලබා දී ඇති අත්දැකීම් නාගරික සංවර්ධන අධිකාරිය සහ සොෆ්ට්ලොජික් සමාගම එකතුව දියත් කළ පෞද්ගලික පොදු සහජීවන වැඩපිළිවෙළ තුළින් ඉටුකර ගැනීම අපහසු නොවන බවට දෙපාර්ශවය ම විශ්වාස කරයි.

මේ වන විට ව්‍යාපාර ලෝකයේ ප්‍රබල ව්‍යාපාර අවස්ථා රැසක් සොෆ්ට්ලොජික් පෞද්ගලික සමාගම සතුව පවති. එම සියල්ල සොෆ්ට්ලොජික් සමාගම සමඟ කටයුතු කරන ආකේඩ් ව්‍යාපාරික ප්‍රජාව සමඟ බෙදා හදා ගැනීම ව්‍යාපාරික ලෝකයට තවත් නැවුම් අත්දැකීමක් වනු ඇත.

ආකේඩ් පරිශ්‍රය යනු හුදෙකලා ස්ථානයක් නොව එය ජනාකීර්ණ පරිසරයක් බව එතුළින් ගනුදෙනුකරුවන් මෙම පරිසයට කැඳවීම පහසු බව සහ එයට අවශ්‍ය සියලුම දේ පරිශ්‍රයේ සියලු ව්‍යාපාර හිමියන් ද සතු වේ.

May be an image of outdoors
May be an image of monument and outdoorsMay be an image of body of water, monument and text that says "fo ARCADE ADE"May be an image of outdoorsMay be an image of outdoors and treeMay be an image of outdoorsMay be an image of outdoorsMay be an image of outdoors and treeMay be an image of indoorMay be an image of indoorMay be an image of outdoorsMay be an image of indoorMay be an image of indoorMay be an image of indoorMay be an image of 1 person

Read more

Local News