හිටපු නායකයෝ හැටියට දුකයි දැන් ක්‍රිකට් තියෙන තත්ත්වය ගැන : තිලකරත්න ඩිල්ශාන්

Share

ඉන්දියාවේ පැවති “Road Safety” තරඟාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම ඊයේ (22) සවස දිවයිනට පැමිණියේය.

එහිදී මාධ්‍යවේදින් වෙත අදහස් දක්වමින් හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරිය මහතා පැවසුවේ“අපි මේ කරන හැමදේම කරන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් උඩට යන්න ඕනේ කියන චේතනාවෙන්. ඒක තමයි අපේ බලාපොරොත්තුව. අපි අලුත් දෙයක් කරා. අපි පරණ ක්‍රීඩකයෝ ගිහින් කණ්ඩායමක් හැටියට ක්‍රීඩා කරලා හැම කෙනෙක් ම ඒ ජයග්‍රහණය අපි සන්තෝෂයෙන් විඳ දරා ගත්තා.“ යනුවෙනි.

මාධ්‍යට අදහස් දක්වමින් හිටපු ක්‍රිකට් නායක තිලකරත්න ඩිල්ශාන් මහතා පැවසුවේ“අපි කාලයකට පස්සේ අපි ක්‍රිඩා කළේ සනත් අයියලා ක්‍රිඩාවෙන් සමු අරගෙන අවුරුදු 10ක් වගේ වෙනවා. පළවෙනි දවසේ ඉදන් අපි පවුලක් වගේ එකට හිටියා ඒ නිසා ලොකු කණ්ඩායම් හැගීමක් තියෙනවා.“ 

ඒ මහතා වැඩිදුරටත් සදහන් කළේ“ජාතික කණ්ඩායමේ ගොඩක් දක්ෂ ක්‍රීඩකයෝ ඉන්නවා එක් අපි අනිවාර්යෙන් කියන්නට ඕනේ. උපරිම ප්‍රයෝජනය නේන ඕනේ. ඒ අයට හරි මාර්ගය පෙන්නුවොත් ඒ අයගෙන් හරි දේ ගන්න පුළුවන්. හිටපු නායකයෝ හැටියට දුකයි දැන් ක්‍රිකට් තියෙන තත්ත්වය ගැන. හැබැයි අපි ලෑස්ති ඕනවෙලාවක ඒ අය වෙනුවෙන් කරන්න ලෑස්ති. මම හිතන්නේ අපේ ක්‍රිකට් හදලා ගන්න පුළුවන්” යනුවෙනි.

පසුගියදා පැවති Road Safety ලෝක ශූරතා ක්‍රිකට් තරගාවලියේ, අවසන් මහා තරගයෙන් ශුරතාවය දිනා ගැනීමට ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 182ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 7ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 167ක් පමණි.

ඒ අනුව, ඉන්දීය ලෙජන්ඩ්ස් පිලට ලකුණු 14ක ජයක් හිමිවූ අතර කාසියේ වාසිය හිමි කරගත් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළේය.

ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම වෙනුවෙන් ඉනිම ආරම්භ කළේ නායක සචින් තෙන්ඩුල්කාර් හා විරේන්ද්‍ර ශෙවාග්.

ඔවුන්ගේ පළමු කඩුල්ල ලෙස ශෙවාග් ලකුණු 10කට දවා ගැනීමට රංගන හේරත් සමත් විය.

ඉන්දීය ලෙජන්ඩ්ස් මුල් පෙල කඩුලු 2 බිඳ වැටුණේ ලකුණු 35කදීය.

අනතුරුව නායක සචින් තෙන්ඩුල්කාර් සමග එක් වූ යුවරාජ් සිං ඉන්දීය ලෙජන්ඩ්ස් තුන්වැනි කඩුල්ලට ලකුණු 43ක සබඳතාවක් ගොඩනැගුවේය.

තෙන්ඩුල්කාර් ලකුණු 30ක් ලබා ගත් අතර යුවරාජ් සිං පන්දු 41කින් ලකුණු 60ක් රැස් කළේය.

හතරේ පහර 4ක් සහ හයේ පහර 4ක් ඊට ඇතුළත් විය.

යූසුෆ් පතාන් පන්දු 36කින් නොදැවී ලකුණු 62ක් රැස් කළේය.

රංගන හේරත්, සනත් ජයසූරිය, ෆර්වීස් මහරුෆ් සහ කෞෂල්‍ය වීරරත්න අතර කඩුල්ල බැගින් බෙදී ගියේය.

ඒ අනුව, තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදී කඩුලු 4ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 181කි.

නායක ටී.එම්. ඩිල්ෂාන් සහ සනත් ජයසූරිය ශ්‍රී ලංකා පිළිතුරු ඉනිම ආරම්භ කළේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමේ පළමු කඩුල්ලට නායක ටී.එම් ඩිල්ෂාන් සහ සනත් ජයසූරිය ලකුණු 62ක සබඳතාවක් ගොඩනැගුවේය.

ඩිල්ෂාන් ලකුණු 21ක් ලබා ගත් අතර සනත් ජයසූරිය පන්දු 35කදී ලකුණු 43ක් ලබා ගැනීමට සමත් විය.

ඊට හතරේ පහර 5ක් සහ එක් හයේ පහරක් ඇතුළත් විය.

චින්තක ජයසිංහ ලකුණු 40ක් ලබාගත් අතර කෞෂල්‍ය වීරරත්න ලකුණු 38ක් ලබා ගත්තේය.

තරගාවලි⁣යේ වීරයා සම්මානය ටී.එම්. ඩිල්ෂාන්ට හිමිවිය.

Read more

Local News