පාස්කු කොමිෂන් වාර්තා අධ්‍යනය කමිටු වාර්තාව ඉදිරි සති දෙක තුළ

Share

අප්‍රේල් 21 වැනිදා සිදුවූ ඉරුදින ප්‍රහාර මාලාවේ පාස්කු කොමිෂන් සභා වාර්තා අධ්‍යනය සඳහා පත්කළ කමිටු වාර්තාව ඉදිරි සති දෙක ඇතුළත භාර දීමට අපේක්ෂා කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සදහන් කළේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (22) උඩුගම්පල පැවති වැඩසටහනින් අනතුරුව මාධ්‍යවේදීන් ඒ සම්බන්ධයෙන් සිදුකළ විමසීම් වලට පිළීතුරු දෙමින්ය.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කලේ පාස්කු කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ සම්බන්ධයෙන් අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහ කතෝලික සභාව ඉදිරිපත් කොට ඇති මතය පිළිබඳව මෙහිදී වැඩි අවධානයක් යොමු කල බවයි. 

ඒ අනුව පාස්කු කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ නැවත අධ්‍යනය කොට අඩුපාඩු සකස් කොට ඒ පිළිබඳව පරීක්ෂණ පවත්වන්නැයි ත්‍රස්ත විමර්ශන ඒකකට සහ රහස් පොලීසියට නිර්දේශ කිරීමට අපේක්ෂා කෙරේ. 

පාස්කු කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ සම්බන්ධයෙන් සෑහීමට පත්වන්නේදැයි මාධ්‍යෙව්දීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අමාත්‍යවරයා සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බවත් එම නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ වගකීම සහ ඒවායේ අඩුපාඩු පිළිබඳව නැවත සාකච්ඡා කිරීමක් සිදුකළ බවත්ය. 

කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ මේ වන විට රටම දන්නා නමුත් ඒවායේ පැවති ඇතැම් ගැටලූ සහගත තත්වයන් සම්බන්ධයෙන් තවදුරටත් ත්‍රස්ත විමර්ශන ඒකකය සහ රහස් පොලීසියය පරීක්ෂණ පවත්වනු ලබයි. මෙම කොමිෂන් සභා වාර්තාව භාර දී තවමත් කෙටි කාලක් බැවින් හරි දේ හරියට කිරීමට කාලය ගතවීම ගැටලුවක් කර නොගෙන නිවැරදි තීරණ ගැනීමට පාස්කු කොමිෂන් සභා වාර්තා අධ්‍යනය සඳහා පත්කළ කමිටුව පියවර ගන්නා බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය. 

සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ගැටලු වලට පිළිතුරු දෙමින් ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා පෙන්වා දුන්නේ සංචාරකයින්ට රට තුළට පැමිණීමට ආරාධනා කිරීම සදහා මේ වන විටත් ලෝක ප්‍රවර්ධන වැඩසටහන් ආරම්භ කොට ඇති බවයි. ගෝලීය කොවිඩ් වසංගතය ක්‍රමයෙන් පහව යාමත් සමග ප්‍රධානපෙළේ රටවල් විවෘත කිරිම ඉදිරියේදී ආරම්භ කෙරෙනු ඇත. ඒ හා සමගාමීව ශ්‍රි ලංකා සංචාරක කර්මාන්තය ඉහළ ප්‍රවර්ධනයක් ඉක්මනින් ළඟා කරගනු ඇතැයි අපේක්ෂා කරන බව මෙහිදී අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කළේය.

Read more

Local News