ආණ්ඩුවේ වරදින් පිළිකා පොල්තෙල් රටපුරා : විපක්ෂ නායක

Share

අපක්ෂපාතී පරීක්ෂණ පවත්වා පාස්කු ප්‍රහාරයේ වැරදිකරුවන්ට වහාම දඬුවම් දෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ 72වන සත්කාරය විපක්ෂ නායක ජංගම සේවයට එක්වෙමින් තිස්සමහාරාම මාගමදීය.

වැඩිදුරටත් අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා පැවසුවේ “අද වගේ දවසක මිලේච්ඡ ත්‍රස්තවාදී පාස්කු ප්‍රහාරය අපේ රටට එල්ල වෙලා කිතුනු බැතිමතුන් ,කතෝලික ක්‍රිස්තියානි ජනතාව විශාල ප්‍රමාණයක් මරණයට පත්වෙලා ,ජීවිත හානි වගේම ශාරීරික හානි ,දේපල හානි ,රටේ සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ හෝටල් විනාශ වුණා. ඒ වගේම කිතුනු බැතිමතුන්ගේ දේවස්ථාන තුනක් විනාශ වුණා. ඒ ම්ලේච්ඡ ප්‍රහාරය අද දවසේත් අපිට මතක් වෙනවා. විශේෂයෙන්ම ඒ ප්‍රහාරය සිද්ධවෙලා පැය කීපයක් ඇතුළත අපි ගියා ඒ ස්ථානවලට. ඒ පූජනීය ස්ථානවලට. අද වගේ මට මතකයි මම ඒ ස්ථාන වලට ගියේ හරියටම උද්දකන්දර විහාරස්ථානයේ සංඝාවාස ගොඩනැගිල්ල ට මුල් ගල තියන ඒ උත්සවයෙන් පසු ,උත්සවයක් තිබුණේ තිබුනේ නෑ ඒ මොහොතේ සිදුවුණු කම්පනය ,තිගැස්ම මට අද වගේ මතකයි.

ඒ දේවස්ථානවලට යනකොට මම දැක්කා ඇත්තවශයෙන්ම විශාල ප්‍රමාණයක් බැතිමතුන් මරණයට පත්වෙලා ,ජීවිත අහිමි වෙලා ඒ වගේම ඒ චිත්‍රය දකිනකොට අද දවසේ මට ඇති වන්නේ ඉතාමත් ම දැඩි කනගාටුදායක ශෝකාකූල හැඟීමක්. විශේෂයෙන්ම එදා පාස්කු ඉරිදා ඒ කිතුනු බැතිමතුන් ඒ දේවස්ථානයට ගියේ ඒ ආගමික කටයුත්ත ක්‍රියාත්මක කරන්න. නමුත් ම්ලේච්ඡ ත්‍රස්තවාදීන් සියදිවි නසාගැනීමේ ප්‍රහාර එල්ල කරලා අපේ රට විශාල විනාශයකට ලක් කරා.

ඇත්ත වශයෙන් ම ඒ කාලවකවානුව තුළ මමත් කැබිනට් ඇමතිවරයෙක්. මමත් කැබිනට් ඇමතිවරයෙක් වුණු රජයක් ක්‍රියාත්මක වෙනකොට තමයි මේ සිද්ධිය සිද්ධ වුණේ. ඒ නිසා ඇත්ත වශයෙන්ම මගෙත් වගකීමක් තිබෙනවා. ඒ වගකීම් වලින් අපි පැනලා යන්නට සූදානම් නෑ. විශේෂයෙන්ම මම මේක අවස්ථාවක් කරගන්නවා එදා ඒ විපතට පත්වුන පවුල් වල සියලු දෙනාටම මගේ කනගාටුව පල කරන්නටත් ඒ මම හිටපු ආණ්ඩුවක් තුළ මේ ක්‍රියාව සිදු සිදු වීම පිළිබඳව ඇත්ත වශයෙන්ම මම සමාව ගන්නවා. ඒක තමයි අපේ යුතුකම.

එනිසා මේ මොහොතේ ඒ පාස්කු ප්‍රහාරය අද වගේ දවසක සිදුවුනු කාරණාව කිසිසේත්ම අපට අමතක කරන්නට බැහැ. මම අද දවසේ ත් කියනවා ත්‍රස්තවාදය ක්‍රියාත්මක කරන ,සැලසුම් කරන, අනුබල දෙන ,මුදල් ලබා දෙන ඒ සියලු දෙනාටම අනිවාර්යෙන්ම මරණීය දණ්ඩනය ක්‍රියාත්මක විය යුතුමයි. ඒ දේ අපේ රටේ සිදු වෙන්නේ නැහැ. ත්‍රස්තවාදීන්ට මරණීය දණ්ඩනය ලබා දෙන්න ඕන කියනකොට මේ රටේ එක්තරා සුළු කොට්ඨාසයක් ඉන්නවා මාධ්‍ය හරහා පුවත්පත් හරහා මට මඩ ගහනවා. විවේචනය කරනවා. නමුත් මම පැහැදිලිවම කියන්න කැමතියි ත්‍රස්තවාදයට අපේ රටේ ඉඩක් නැහැ. අපිට තදාසන්න රටක් වන සිංගප්පූරුවේ ඇයි අද ත්‍රස්තවාදයක් නැත්තේ ? ඇයි කුඩු ව්‍යාපාරය නැත්තෙ ? ඒ රටවල ත්‍රස්තවාදී ක්‍රියාවන්,ඒ වගේම කුඩු ව්‍යාපාර ක්‍රියාත්මක උනොත් ඒ හැමෝම දන්නවා අත්පත්වන දඬුවම කුමක්ද අත්පත් වන ඉරණම කුමක් ද කියලා. ඒ නිසා අද දවසේ දී වත් අපි අධිෂ්ඨාන කර ගන්නට ඕන මේ රටේ කිසිම දවසක ත්‍රස්තවාදී ක්‍රියාවක් සිදු නොවන ආකාරයට අපි අපේ රටේ නීති පද්ධතිය සකස් කරන්නට ඕන. අපේ ආරක්ෂක ජාලය ශක්තිමත් කරන්නට ඕනේ.

අද දවසෙත් අපේ රටේ ජාතික ආරක්ෂක කවුන්සිලය නිකං ඉවක් බවක් නැතුව රැස්වන කවුන්සිලයක්. කිසිම නීතිමය පදනමක් නෑ. අපි යෝජනා කරනවා පාර්ලිමේන්තු අණ පනත් හරහා ජාතික ආරක්ෂක කවුන්සිලය මේ රටේ ස්ථාපනය කරන්නට. අපේ ආරක්ෂක ජාලය ශක්තිමත් කරන්නට ඕන. අපේ බුද්ධි අංශය අපි තවදුරටත් ශක්තිමත් කරන්නට ඕනේ. ඒ තුළින් තවත් මොනම ආකාරයෙන් වත් ත්‍රස්තවාදයට අපේ රටේ ඉඩ නොතබන ආකාරයට අපි මේ රට ඉදිරියට ගෙන යන්නට ඕන. ඒ නිසා අද වගේ දවසක දැඩි ශෝකයට කනගාටුවට පත්වී සිටින මොහොතක මේ වර්තමාන ආණ්ඩුවට එක දෙයක් මට කියන්නට ඕන. ඒ තමයි තමුන්නාන්සේලා බලයට පත්වුණේ පාස්කු ප්‍රහාරය ප්‍රහාරයේ මහ මොළකරුවන් ඔක්කොම හෙළිදරව් කරනවා කියන පොරොන්දුව මත. 69ලක්ෂයක් ජනාධිපතිවරණයේ 68 ලක්ෂයක් මහ මැතිවරණයේ මේසා විශාල ජන ජනවරමක් ලබා දුන්නේ ජනතාව තුළ විශ්වාසයක් ඇති කළා පාස්කු ප්‍රහාරය පිටුපස හිටපු මහ මොළකරුවන් අල්ලනවා කියලා. මහ මොළකරුවන් ව නීතිය හමුවට ගෙනල්ලා දැඩි දඬුවම් ලබා දෙනවා කිව්වා. මේවා ට අනුබල දුන්නු අය ,මුදල් අනුග්‍රහය ලබා දුන්නු අය , සැලසුම් හදපු අය ඒ සියලු දෙනාම නීතිය හමුවට ගෙන එනවා කිවුවා. නමුත් කණගාටුවෙන් හෝ අද දවසේ කියන්නට ඕන ඒ කිසිම දෙයක් කරන්නට මේ වර්තමාන රජය කටයුතු යොදලා නැහැ. මහ මොළකරුවන් අල්ලන්නට අපොහොසත් වෙලා සිටිනවා මේ වර්තමාන ආණ්ඩුව. ඉතින් මේ මහ මොළකරුවන් අල්ලන්නට බැරිද ? මොනයම් හෝ පසුබෑමක් තිබෙනවා ද ? පසුබෑමට හේතු තියනවද ? මහ මොළකරුවන් අල්ලන්නට බැරි හේතුවක් තියෙනවද ? වෙනත් මොනයම් හෝ න්‍යාය පත්‍රයක් තිබෙනවාද ? තොරතුරු කරුණු කාරණා හංගනවා ද ? මම මේ කියපු දේවල් ඔක්කොම මේ රටේ ජනතාවගේ හදවතේ කැකෑරෙන ප්‍රශ්න. මේ රටේ ජනතාව හිතන ප්‍රශ්න.

සමහරෙක් හිතනවා මහ මොළකරුවන් අල්ලන්නේ නැතුව මේක හංගන්න හදනවා කියලා. ජනතාව රවට්ටන්න හදනවා කියලා. කොටින්ම කිව්වොත් කතෝලික ප්‍රජාව ගේ ඒ ප්‍රධාන ආගමික නායකතුමා අති උතුම් වූ කාදිනල් මැල්කම් රංජිත් උතුමානන්. එතුමාට වත් විශ්වාසයක් නැහැ මේ ක්‍රියාව හරියට කරනවා කියලා. පුන පුනාම කාදිනල්තුමා කියන දේ මොකක්ද ? අපිට ඇත්ත දැනගන්න ඕන. ඇත්ත දැනගන්න ඕනේ කියන්නේ දැනට තියෙන්නේ බොරුව කියන එක. සත්‍ය හෙළිදරව් වෙලා නෑ තාම. ඒ නිසා කතෝලික ක්‍රිස්තියානි ප්‍රජාවගේ ,ඒ වගේම රටේ සමස්ත ජනතාවගේ ලොකු කුතුහලයක් තිබෙනවා.

ලොකු ආන්දෝලනයක් තිබෙනවා. ඇයි මේ මහ මොළකරුවන් අල්ලන්නේ නැත්තේ ? මේ ත්‍රස්ත ක්‍රියාවට හවුල් උනු අය පසු පස ලුහු බැඳගෙන ගිහිල්ලා ඇයි ඒ අයව නීතිය හමුවට ගෙන එන්නේ නැත්තේ ? මෙන්න මේ ප්‍රශ්නයට මේ ආණ්ඩුව වහාම පිළිතුරු සපයන්නට ඕන. මේ වන තෙක් ඒ පිළිතුරු සපයන්නට මේ ආණ්ඩුව අපොහොසත් වෙලා තිබෙනවා. ඒ නිසා බොහොම පැහැදිලිව මම කියන්න කැමතියි වගවීම වගකීම අපි බැහැර කරන දෙයක් නෙමෙයි. ඒ නිසා තමයි මම නැවත නැවතත් මේ පාස්කු දිනයේ කිතුනු බැතිමතුන්ගෙන් කතෝලික බැතිමතුන්ගෙන් ඒ වගේම ක්‍රිස්තියානි බැතිමතුන්ගෙන් ඒ ආගමික නායකයින්ගෙන් රජයේ සාමාජිකයෙක් හැටියට මම සමාව ඉල්ලා සිටිනවා. එහෙම සමාව ඉල්ලන්න ට මම ලැජ්ජ වෙන්නෙ නෑ. ඒක තමයි ප්‍රතිපත්තිගරුක ක්‍රියාව. නමුත් මේ ආණ්ඩුවටත් මම කියනවා තමුන්නාන්සේලාත් ජනතාවගෙන් සමාව ඉල්ලන්න ඕන ආපු දවසෙ ඉඳල ජනතාවගේ හැඟීමක් තිබෙනවා මේ මොල කාරයින් අල්ලන්නට තමුන්නාන්සේලා උනන්දු වුණේ නැති කාරණාවක්. උනන්දු වෙලා නෑ. කාර්යක්ශම වෙලා නෑ. එදා ජනාධිපතිවරණයේදී කිව්වා අවුරුදු 30ක යුද්ධය අපි ඉවර කරා.

ඒ වගේම තමයි පාස්කු ප්‍රහාරයේ මොළකරුවන් අපි නීතිය හමුවට ගෙන විල්ලා දැඩි දඬුවම් ලබා දෙනවා කිව්වා. ඒ කිසිම දෙයක් අද සිදුවෙලා නෑ. රජයේ වගකීම තමයි වහාම අද දවසේ ඉඳලා වත් අර මියගිය අපේම රටේ ජනතාව වෙනුවෙන් සත්‍ය හෙළිදරව් කරන්නට කටයුතු කරන්න. ඇත්ත කියන්න, ඇත්ත ඇති සැටියෙන්ම කියන්න. වෙන වෙන වෙන න්‍යාය පත්‍ර කේන්ද්‍රකරගෙන මේක හංගන්න යන්න එපා. වෙනම ම විශේෂිත වූ කණ්ඩායමක් යොදවලා කැමතිනම් ශ්‍රී ලංකාවේ නායකත්වයෙන් පිටරට විශේෂඥවරුන් වත් ගෙන්න ගන්න. ඒකෙ වරදක් මම දකින්නෙ නෑ. ගෙනල්ලා පාස්කු ප්‍රහාරය පිටුපස තිබෙන ඒ අදිසි හස්තය හෝ හස්තයන් වහාම රටට හෙළිදරව් වෙන ආකාරයේ විනිවිදභාවයකින් යුත් වූ පරීක්ෂණයක් පවත්වන්න කියලා මම ඉල්ලීමක් කරනවා. ඒ වගේම මිත්රවරුනි විශේෂයෙන්ම මේ අවස්ථාවේ අපි හැමෝම දන්නවා අද රට පාලනය කරන්නේ ගසාකෑමේ කප්පිත්තෝ ටික. ගසාකෑමේ කප්පිත්තෝ ටික සීනි වලිනුත් ගසා කෑවා ,දැන් අර අවුරුද්දට දෙනවා කියන මල්ලෙනුත් ගසා කාලා තිබෙනවා, ඔක්කොම දීලා තියෙන්නේ අලුත් අවුරුදු භාණ්ඩ නෙමෙයි කුණු භාණ්ඩ දීලා තියෙන්නේ. රටේ ජනතාවගේ පාරිභෝජනය සඳහා. දැන් ගසාකාලාකාලා ගසාකාලා ගසාකාලා ඒත් මදි .

තවත් කන්න මයි ඕන. දැන් හදනවා කිරින්ද මාගම වැලිවැටිය කන්න. කිරින්ද මාගම වැලිවැටිය විනාශ කරන්න. මම එකක් කියන්න කැමතියි. මේ තිස්සමහාරාමය ජනතාව දැන ගන්නට ඕන මේ වැලි වැටිය නිසා මිනිස් ජීවිත රාශියක් බේරුනා සුනාමි සමයේ. සුනාමියෙන් මේ මුළු මහත් බල ප්‍රදේශය ම බේර ගත්තේ ඒ වැලිවැටිය. එවන් උතුම් කර්තව්‍යයක් ඉෂ්ඨ කරපු ඒ වැලිවැටිය විනාශ කරනවද ? වරුවකට 4000ක් හම්බෙනවා කියන ඒ බොරු ප්‍රචාරවලට රැවටෙනවා ද ? විදේශීය කොම්පැනි කාරයන්ගේ බොරු වදන් වලට යටත් වෙනවද ? පැහැදිලිවම මම කියන්න කැමැතියි සමගි ජනබලවේගයේ අපි මේ වැලිවැටිය විනාස කරනවට තරයේම විරුද්ධයි. මම ඇමතිවරයා වෙලා හිටිය කාලයේ ත් ඔය වැලිවැටිය නියෝජනය කරපු විවිධ කණ්ඩායම් ආවා මාව හම්බෙන්න.

ඒ ඇත්තො හැදුව මටත් සන්තෝසම් දෙන්න. නමුත් මේ රටේ ජනතාව දන්නවා සන්තෝසම් දීලා සජිත් ප්‍රේමදාස ව මුදලට ගන්නට බෑ. හැබැයි පේන විදිහට වැලිවැටිය විනාශ කරන්නට ඔය කිහිපදෙනකු මුදලට අරගෙන වගේ කියලා කියලා තමයි මට හිතෙන්නේ. ජනතාවටත් හිතෙන්නේ. මම පැහැදිලිවම කියනවා මේ වැලිවැටිය විනාශ කිරීමෙන් මේ ප්‍රදේශයේ දැවැන්ත ජීවිත හානි සිදුවෙයි. අනාගතයේ විවිධ භයංකාර පරිසර කාලගුණික දේශගුණික විපර්යාසයන් සිදුවුණොත්, ඒ වගේම වගේම පැහැදිලිවම කියන්න කැමතියි මිනිස් ජනාවාස තිබෙන හරියේ වැලිවැටිය ට අත තියන්නට අප ඉඩ තබන්නේ නැහැ. ඒ වගේම යාල ජාතික වනෝද්‍යානයේ වැලිවැටිය සූරා කන්නටත් මේ ඇත්තෝ දැන් උත්සාහ දරනවා ලු. ඒකටත් අපි ඉඩ තබන්නේ නෑ කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. මිත්‍රවරුනි තමුන්නාන්සේලා දැනගන්නට ඕන ඛනිජ තෙල් ගවේෂණය ඒ වගේම ඛනිජ තෙල් වැලි කැපීමේ ක්‍රියාව ඒක පරිසර අධ්‍යනය කරලා පරිසර අධ්‍යයන වාර්තා හරහා හානියක් නොවන්නේ නම් පරිසරයටත් මිනිස් ජීවිත වලටත් ඒවා කරන එකේ ප්‍රශ්නයක් නෑ. දැනටමත් එහෙම පරිසර වාර්තා අරගෙන නිලාවැලි සිට පුල්මුඩේ දක්වා දැනටමත් ඒ ගවේෂණ කටයුතු ඒ කැණීම් කටයුතු කෙරෙනවා. ඉල්මනයිට් ,රූටයිල් ,සර්කොන් ,ගානට් ,මොනොසයිට් කියන ඒ ඛනිජ සම්පත් දැනටමත් අපේ රට කැණීම් හරහා නිපදවනවා.

ඒකේ කිසි ගැටලුවක් නැහැ. අර ප්‍රදේශවල ඒක ක්‍රියාත්මක කරනකොට . ඇත්තවශයෙන්ම කිලෝමීටර් 7 ක ඒ වැඩ කටයුත්ත කරන අතරතුර තවත් කිලෝමීටර් හතක් තියෙනවා තවදුරටත් මේ වැඩේ කරන්න පුළුවන්. කෝකිලායි සිට මුලතිව් දක්වා. ඒ කොටසේ පරිසර අධ්‍යනයන් කරලා පරිසරයට අහිතකරයි කියන නිගමනයක් නොමැති තත්ත්වයක් තුළ ,ඒ පරිසර වාර්තාවල තියෙනවා ඒ ප්‍රදේශයේ ඉතුරු කිලෝමීටර් හතේ ත් කළාට ප්‍රශ්නයක් නෑ කියලා. ඇයි ඒ කොටසේ මේ වැඩ කටයුතු කරන්නේ නැත්තේ ? ඇයි දැන් මේ ඓතිහාසික මාගම්පත්තුවේ මේ වැලිවැටිය ට අත තියන්නට මේ ආණ්ඩුව ඉඩ දෙන්නේ ? මම පැහැදිලිවම කියන්න කැමතියි මේ ප්‍රදේශයේ ජනතාවට කරුණාකරලා කශේරුකාව ශක්තිමත් කරගෙන ,කොඳු නාරටිය ශක්තිමත් කරගෙන සුනාමියෙන් මේ ප්‍රදේශය බේරාගත්තු වැලි වැටිය ආරක්ෂා කරන්නට පාරට බහින්න ලෑස්තිවෙන්න. අපි ලෑස්තියි ඒකට නායකත්වය ලබා දෙන්න. තමුන්නාන්සේලා උදාසීනව පැත්තකට වෙලා බලාගෙන ඉන්න එපා.

මේ තමුන්නාන්සේලාගේ ප්‍රදේශයේ ඒ මහා සම්පතයි විනාශ මුඛය කරා යන්නේ. ඒ නිසා මතක තියාගන්න සජිත් ප්‍රේමදාස වත් සමගි ජනබලවේගය වත් කාටවත් මුදලට ගන්න බෑ. අපිව කාටවත් මුදලට යටත් කරගන්නට බැහැ. අපි හැමදාමත් ඉන්නේ රටේ පැත්තෙ. ජනතාවගේ පැත්තෙ. මිනිස් ජීවිත අපි ආරක්ෂා කරනවා ඒ වගේම අපේ උතුම් පරිසරය අපි රැක ගන්නවා. මිත්‍රවරුනේ අපි හැමෝම දන්නවා අලුත් අවුරුදු සමය එනකොට අපේ රටේ ගම් වල ,නගරවල තියනවා චාරිත්‍රයක්. ඒ ජීවත්වන ජනතාව අලුත් අවුරුදු සමයේ ආහාරපාන බෙදා හදා ගන්නවා. එක ගෙදරකින් තවත් නිවසකට ඒ ආහාර පාන ලබා දෙනවා. අලුත් අවුරුද්ද ජාති ආගම් කුල මල පන්ති පක්ෂ භේදයෙන් තොරව බොහොම බොහෝම සහෝදරත්වයෙන් සමරනවා. දැන් 69 ලක්ෂයක් ඡන්දෙ දීලා පත් කරගත්ත මේ ආණ්ඩුව නිසා අලුත් අවුරුද්ද සමරන්න ටත් බැරිවෙලා තිබෙනවා. අපි හැමෝම දන්නවා ඉතින් covid කියන ප්‍රශ්නය ලෝකේ රටවල් රාශියකට ඇවිල්ල තියෙනව. ඒක මහ බරපතළ උවදුරක්. මම නම් දකින්නේ ඒක ශාපයක් හැටියට . දැන් කෝවිඩ් ශාපයට අමතරව හොර පොල් තෙල් ශාපය පිලිකාකාරක පොල්තෙල් ශාපය විශාල පොල්තෙල් ශාපය අද ජනතාවගේ නිවෙස් වලටම ඇවිල්ල තියනවා. වගකිවයුතු ඇමතිවරයා දැන දැන කොහොමද විශ සහිත ආහාර පාන මේ රටේ වෙළෙඳ පොළේ සංසරණය වෙන්නේ ? අපිට මතකයි ඇමැතිවරයා කිව්වා නැහැ එහෙම විස සහිත කිසිම දෙයක් නිකුත් වෙලා නැහැ කියලා. නමුත් මිත්‍රවරුනි බවුසර් පිටින් අද අහුවෙනවා කන්ටේනර් පිටින් අද අහුවෙනවා විශ පොල්තෙල් සහ විශ පොල්තෙල් ආදේශක හොරෙන් පන්නලා. මොකක්ද වෙලා තියෙන්නේ ? රේගුවයි අනෙකුත් නිලධාරීනුයි මේ විස පොල්තෙල් දැන දැනත් ඒවා ගබඩා කරලා තිබෙන්නේ ඒවා ගෙනාපු සමාගම් වල ගුදම් වල. මොකක්ද මේ සමාගම් කාරයොත් එක්ක තියෙන සම්බන්ධතාවය ? මුදල් ගනුදෙනුව ක් ද? මුදලට පගාවට අල්ලසට ඒ විස පොල්තෙල් වෙළඳපොළට නිකුත් කෙරුවද ? රටම බලාගෙන ඉන්නවා මේකෙ සත්‍ය දැනගන්න. මේකේ යථාර්ථය අවබෝධ කරගන්න.

මුදල් ගනුදෙනුවක් නිසා මේ රටේ ජනතාවගේ ජීවිත බිලිදුන්නද? ජනතාවගේ ජීවිත බිලි දෙනකං ඇමැතිවරයා මොකද්ද කරේ ? ඇමතිවරයාට සදාචාරාත්මක අයිතියක් තියෙනවද ඇමති කමේ ඉන්න ? කෝටි 1590ක සීනි ගනුදෙනුව එක්තරා සමාගමක් එක්ක එක්කහු වෙලා කරා. කෝටි 1590ක් අපේ රටට අහිමි වුණා. මහලොකුවට කිව්වේ වියත් ආණ්ඩුවක් යාත්මක කරනවා කියලා. වියත් නෙමේ මිත්‍රවරුනි මේ රටේ ජනතාව කැරකොප්පුවට යවන ආණ්ඩුවක් අද නිර්මාණය වෙලා තියෙන්නේ. ආදාහනාගාරයට යවන ආණ්ඩුවක් අද නිර්මාණය වෙලා තියෙන්නේ.

ඒ නිසා බොහොම පැහැදිලිව අපි කියන්න කැමතියි අපිට දැනගන්නට ඕන මේ හොර පොල් තෙල් විශ පොල්තෙල් පිලිකාකාරක පොල්තෙල් ගනුදෙනුවේ සුලමුල. කවුද මේකට නායකත්වය දුන්නේ ? කවුද මේක පිටුපස සිටින්නේ ? කවුද මේ රටේ ලක්ෂ දෙසිය විස්සක් වූ ජනතාවගේ ජීවිත මේ මහ බරපතළ උවදුරට ඇද දැම්මේ ? මෙදා පාර අලුත් අවුරුදු සමරලා ඉවරයි. වෙනදට ගමේ රටේ තොටේ ඒ නංගිලා මල්ලිලා අම්මලා තාත්තලා ඒ සහෝදර සහෝදරියන් ඒ පැරණි චාරිත්‍ර ඒ පැරණි ගති පැවතුම් ආහාර සියල්ලක්ම හුවමාරු කරගැනීම් ,කැවුම් ටිකක් බැදලා කොකිස් ටිකක් බැදලා අසල්වැසියාට ලබාදීම ඒ සියල්ලක්ම අද නතර වෙලා තියෙන්නෙ. මේ ආණ්ඩුව සිංහල දමිල අලුත් අවුරුද්දත් සැමරීම වක්‍රාකාරයෙන් නතර කරවලා තියෙන්නේ. විශ පොල්තෙල් ගනුදෙනුව හරහා.

පිළිකාකාරක පොල්තෙල් ගනුදෙනුව හරහා. එහෙනම් මිත්‍රවරුනේ අද අපේ රට මුහුණ දෙන්නෙ කෝවිඩ් අර්බුදයට පමණක් නොවේ , ආර්ථික අර්බුදයට පමණක් නොවේ , ජීවත්වීමේ අර්බුදයට පමණක් නොවේ ,දුප්පත්කමේ අර්බුදයට පමණක් නොවේ විශ පොල් තෙල් පිලිකා කාරක පොල්තෙල් සහ පොල්තෙල් ආදේශක අර්බුදය ටත් තමුන්නාන්සේලාට දැනගන්නට ලැබෙන්න ඇති දැන් පිළිකාකාරක පරිප්පුත් ඇවිල්ල තියෙනව වෙළඳපොළට.

හෙට දවසේ තව මොන මොන දේවල් එලිදරව් වේ ද අපි දන්නේ නැහැ. මිත්‍රවරුනි රට අනතුරේ. මිනිස් ජීවිත අනතුරේ. තමුන්නාන්සේලාට වගකියන්න කවුරුත් නැහැ. මම ඔබ තුමන්ලාට කියන්න කැමතියි සමගි ජන බලවේගය ලෑස්තියි අපි ලෑස්තියි මේ රටේ ජනතාව ජීවත් කරවීමේ වගකීම බාර ගන්නටත් නිවැරදි සංකල්ප තුළ ඉතාමත්ම ශක්තිමත් දර්ශනයක් තුළ මේ රට සංවර්ධනය කරා ගෙනයන යුගය නිර්මාණය කරන්නට අපි සූදානම්” යනුවෙනි.

Read more

Local News