ප්‍රවාහන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ජී. සේන විතානගේ මහතා වැඩ භාර ගනී

Share

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ නව ලේකම්වරයා වශයෙන් පත්කළ ජී. සේන විතානගේ මහතා ඊයේ (18) පෙරවරුවේ අමාත්‍යාංශ ලේකම් කාර්යාලයේ දී වැඩ භාර ගත්තේය.

කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි සිසුවෙකු වු විතානගේ මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණය පිළිබඳ බී.එස්.සී.උපාධිධරයෙකු හා කොළඹ විශ්වවිද්‍යාලයේ ව්‍යාපාරික පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධියක් ද ලබා ඇත.

1984 වසරේ පරිපාලන සේවයේ නිලධාරියෙකු ලෙස ප්‍රථමවරට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ සහකාර අධ්‍යක්ෂවරයෙකු ලෙස සේවයට බැඳුණු විතානගේ මහතා අමාත්‍යාංශ ගණනාවක සහකාර ලේකම්, ජේෂ්ඨ සහකාර ලේකම් සහ අතිරේක ලේකම් ධූර හොබවා ඇති අතර වසර 2012 සිට 2015 දක්වා පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙසත්, 2015 සිට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත්වන තුරු විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් කටයුතු කර ඇත.

ගෞරවණීය මහා සංඝරත්නයේ පිරිත් සජ්ඣායනා මධ්‍යයේ රාජකාරි ලිපියකට අත්සන් තබමින් වැඩ භාරගත් නව ලේකම් ජී. සේන විතානගේ මහතාට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් සුභ පතන ලදී. ඉන් අනතුරුව අමාත්‍යාංශයේ ඉදිරි සංවර්ධන කටයුතු ක්‍රියාවට නැංවීම පිළිබඳව අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවැත්වු අතර මෙම අවස්ථාවට අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් සහභාගි වුහ.

Read more

Local News