G7, නේටෝ සහ යුරෝපා සංගමයේ සාකච්ඡා ඇවිලෙන යුද්ධයට තවත් පිදුරු දමාවිද?

Share

රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කර අදට දින 29ක්. ලබන සිකුරාදාට මාසයක් ගතවනවා.

මේ ආක්‍රමණය නිසා අද වන විට දෙපාර්ශවයටම විශාල ජීවිත සංඛ්‍යාවක් අහිමි වී අවසන්.

දල වශයෙන් දෙපැත්තෙන්ම මියගිය සංඛ්‍යාව 20,000කට වැඩි විය හැකියි.

යුක්‍රේනය තුළ පමණක් උන්හිටි තැන් අහිමි වූ සංඛ්‍යාව කෝටියකට වැඩියි.

රටින් පළා ගිය සරණාගතයින් සංඛ්‍යාව මේ වන විට ලක්ෂ 40 ඉක්වා ගොස් තිබෙනවා.

මෙවන් පසුබිමක මේ ඇවිලෙන ගින්න ඇත්තටම නිවන්න කාටවත් උවමනාවක් නැද්ද කියන ප්‍රශ්නය අද ලෝක ප්‍රජාව හමුවේ පවතිනවා.

මන්ද මේ යුක්‍රේන ආක්‍රමණයට පුටින්ව තල්ලු කළ ආසන්නම හේතුව නේටෝවයි.

යුක්‍රේනය නේටෝ සාමාජිකත්වය ලබා ගැනීමට දැරූ ප්‍රයත්නය පුටින් දුටුවේ තම රටට එල්ල වන තර්ජනයක් ලෙසයි.

බටහිර රටවල් තම රට දෙසට අවි අමෝරද්දී නිහඩව ඉන්නේ කෙසේදැයි පුටින් ප්‍රශ්න කළා. අන්තිමට ඔහු යුක්‍රේනය ආක්‍රමණය කළා. 

යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කිට නේටෝ සාමාජිකත්වය ලැබුණෙ නැහැ. ඒ වෙනුවට නේටෝ රටවල් තම හමුදා ඛණ්ඩ යුක්‍රේනයට එවන්නේ නැති බවත් සහතික උණා.

නමුත් ඇන් යුද්ධය උග්‍ර වන්නට හැර මේ ඇවිලෙන ගින්නට පිදුරු දමන්නට මේ රටවල් සූදානම් වන ආකාරයක් දක්නට තිබෙනවා.

නේටෝ රාජ්‍යයන්හි සමුලුව හෙට බ්‍රෙසල්ස් නුවරදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

සමුළුවට පෙරම බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් තමන්ගේ ආධාර පැකේජය ප්‍රකාශයට පත් කළා. ඊට පවුම් මිලියන 25ක මූල්‍ය ආධාර ඇතුලත්. එම මුදල් යුක්‍රේන හමුදාවේ වැටුප් ගෙවීම් ඇතුළු සුබසාධනයට දෙන බවයි ඔහු පවසන්නේ. 

නමුත් මේ ආධාර පැකේජයටම මිසයිල 6000ක් ලබා දීමද විශේෂත්වයක්. මිසයිල 6000කින් සාමය උදා කිරීමට බැහැ. තව තවත් රුසියාව සහ යුක්‍රේනය අතර ගැටුම දුරදිග යාමයි සිදු වන්නේ.

මේ එක්තරා ආකාරයක මාරාන්තික ආධාරයක් යැයි සමහර බටහිර මධ්‍ය අද හදුන්වා තිබෙනවා.

ඉදිරියේදී අමෙරිකා එක්සත් ජනපදය ද මෙවන් ආධාර ලබා දීමට ඉඩ ඇති බවයි වාර්තා වන්නේ. ඊට නවීන ගුවන් යානා නාශක සේම අහස ආරක්ශා කිරීමට හැකි ජෙට් ප්‍රහාරක ද ඇතුළත් විය හැකියි.

විශේෂයෙන් දියුණු කරන ලද දිගු දුර ගුවන් ආරක්ෂක හැකියාව සහිත පද්ධතික් යුක්‍රේනයට ලබා දීමට අමෙරිකාව පොරොන්දු වී තිබෙනවා.

මේ සෑම යුධ ආධාරයකින්ම අවසානයේ සිදු වන්නේ පුටින් සහ සෙලෙන්ස්කි අතර අවසන් සාම එකගතාවයට ඇති සමීප බව දුරස් වීම පමණයි.

එසේම යුක්‍රේනයට යුධ ආධාර නොදීම තුළ පුටින් යුක්‍රේන වැසියන් සමූල ඝාත්නය කළ හැකි බව ද මත පළ වී තිබෙනවා.

මේ සියල්ලට අමතරව රුසියාට ආර්ථික, සමාජීය සහ දේශපාලනික වශයෙන් සම්භාධක පැනවීම තවදුරටත් ක්‍රියාත්මකයි.

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් හෙට බ්‍රසල්ස් නුවර දී තවත් සම්භාධක පැකේජයක් හදුන්වා දිය හැකි බවයි වාර්තා වන්නේ.

දැනට ක්‍රියාත්මක සම්භාධක තම රටට විශාල බලපෑමක් කර නැතැයි ක්‍රෙම්ලීනය (Kremlin) පවසනවා.

නමුත් බටහිර රටවල් පවසන්නේ දිගු කාලීනව රුසියානු ආර්ථිකය බිද වැටීම වලක්වන්නට නොහැකි බවයි.

හෙට පැවැත්වෙන රටවල් 30ක නේටෝ සමුළුවේ දී වැඩිම පීඩනය එල්ල වනුයේ අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්ටයි.

ඔහුට එල්ල වන පළමු අභියෝගය සියලු රටවල් එකතුකර තබා ගැනීමයි. එම නේටෝ රටවල් අතරද විවිධ දේශපාලනික, ආර්ථික සහ යුධ අරමුණු වෙනස්.

රටවල් 30 ම රුසියාවට එරෙහිව තබා ගැනීමට ජෝ බයිඩ්න් හමුවේ ඇති ප්‍රබල අභියෝගයක්. එසේම චීනය රුසියාවට යුධ ආධාර ලබා දීමෙන් වලක්වා ගැනීමද එක් අභියෝගයක්.

යම් හෙයකින් චීනය රුසියාවට ඍජු යුධ ආධාර ලබා දීමට ක්‍රියා කළහොත් තත්ත්වය අතිශය භයානක වනු නියතයි.

එසේම හෙට පැවැත්වෙන සමුළුවේ දී සරණාගත ප්‍රශ්නට ද වැඩි අවදානයක් යොමු කිරීමට අනිවාර්යෙන් සිදු වනවා.

දැනටමත් පෝලන්තයට සරණාගත ප්‍රශ්නය දරා ගැනීමට අමාරු අවස්ථාවකට පත්ව අවසන්.

විශේෂයෙන් පෝලන්තයට විශාල මූල්‍ය පිරිවැයක් සරණාගතයින්  වෙනුවෙන් වෙන් කිරීමට සිදුව තිබෙනවා.

නේටෝ සමුළුවෙන් පසු අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් G7 සහ යුරෝපා සංගමයේ රටවල නායකයින් ද හමුවීමට නියමිතයි.

මේ අතර නේටෝ මහ ලේකම් ජෙනස් ස්ටෙලන්ඩ් බර්ක් අද විශේෂ ප්‍රකාශයක් සිදු කළා.

ඔහු පවසන්නේ බල්ගේරියාව, රුමේනියාව, හංගේරියාව සහ ස්ලෝවැකියාව යන රටවලට විශේෂ හමුදා ඛණ්ඩ යවන බවයි.

විශේෂයෙන් මෙමගින් අනාගත රුසියානු ප්‍රහාර වැලැක්වීම මූලික අරමුණ සේ පෙනෙන්නට තිබෙනවා. නමුත් රුසියාවට එරෙහිව අනාගත ප්‍රහාරයක පූර්ව සැලසුමක් විය හැකියි.

එසේම යුක්‍රේනයට ජීව විද්‍යාත්මක සහ රසායනික අවි ප්‍රහාරයකින් ආරක්ශා වීමට අවශ්‍ය උපකරණ ද යවන බවයි නේටෝ මහ ලේකම්වරයා පවසන්නේ.

දිගින් දිගටම බටහිර රටවල් පවසන්නේ රුසියාව කුමන මොහොතක හෝ රසායනික අවි ප්‍රහාරයක් එල්ල කරනු ඇති බවයි. 

රුසියාව පවසන්නේ එවන් ප්‍රහාරයක් බටහිර රටවල් විසින් යුක්‍රේනය තුළ එල්ල කොට එය රුසියාව මත පැටවීමේ උත්සාහයක් පවතින බවයි.

විශේෂයෙන්  G7, නේටෝ සහ යුරෝපා සමුළුවේ දී රුසියානු ගෑස් මත යැපීම ද සලකා බලනු ඇති. මේ වන විටත් බ්‍රිතාන්‍ය මැදපෙරදිග රටවල් සමග ඉන්ධන හා ගෑස් ලබා ගැනීමට සාකච්ඡා ආරම්භ කර තිබෙනවා.

රුසියානු හමුදා තවමත් Kyiv, Cherkasy, Sumy, Kharkiv, සහ Marupol නගර අල්ලා ගැනීමේ සටනේ නිරත වනවා.

එසේම බටහිර රටවල් රුසියාවට එල්ල කරන යුධ අපරාධ චෝදනා එක්සත් ජාතීන්ගේ රුසියානු නියෝජ්‍ය තානාපතිවරයා ප්‍රතික්ෂේප කර තිබෙනවා.

යුක්‍රේනය ද ප්‍රතිප්‍රහාර එල්ල කරමින් සිය ආරක්ෂාව වෙනුවෙන් සටන් කරමින් සිටිනවා.

G7, නේටෝ සහ යුරෝපා සංගමයේ සාකච්ඡා මේ ඇවිලෙන යුද්ධයට තවත් පිදුරු දමාවිද?

Read more

Local News