සාම සාකච්ඡා අතරතුරත් රුසියාවෙන් යුක්‍රේනයට ශෙල් සහ මිසයිල ප්‍රහාර

රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කර අදට දින 35ක්. ඊයේ ඉස්ථාන්බූල්හි යළි සාකච්ඡා ආරම්භ වුණා. සාකච්ඡාවන්හිදී ඇති වූ එකගතාවයන් පිළිබඳ කිසිදු තොරතුරක් මෙතෙක් හෙලිදරව් වී නැහැ. නමුත් සාකච්ඡා අතරතුර ඇති වූ තත්ත්වයන් අපට විමර්ශනය කළ හැකියි.

මෙතෙක් කියෙව් අගනගරය ආශ්‍රිතව ස්ථානගතව සිටි සමහර රුසියානු ඛණ්ඩ ඉවත් වී යාම ආරම්භ කර තිබෙනවා. ඔවුන් සැබෑවටම ඉවත්වනවාද එසේ නැතහොත් ඉවත්වන බව පෙන්නමින් යළි පහරදෙනවාද යන්න නිශ්චිත නැහැ.

නමුත් මෙසේ ඉවත්වන හමුදා ඛණ්ඩ යළි රුසියාවට යන බව කිසිදු ප්‍රකාශයක් මෙතෙක් සිදු කර නැහැ.

බොහෝ විට මෙම  හමුදාවන් යුක්‍රේනයේ නැගෙනහිර ඩොන්බාස් කලාපයේ බලය තහවුරු කර ගැනීමට යවනු ඇතැයි යුධ විශ්ලේෂකයන් අදහස් පළ කරන්නේ.

කියෙව්වලින් හමුදා ඛණ්ඩ ඉවත් කර ගැනීම පිළිබඳ අමෙරිකා එක්සත් ජනපදය දරන්නේද සැක සහිත මතයක්. 

”අප රුසියානුවන්ව විශ්වාස කළ යුත්තේ ඔවුන් කියන දෙයින් නොව කරන දෙයින්” යනුවෙන් අමෙරිකා එක්සත් ජනපදයේ ආරක්ෂක ප්‍රධානියෙකු පවසා තිබෙනවා.

අමෙරිකා එක්සත් ජනපද බුද්ධි තොරතුරුවලට අනුව රුසියානු හමුදා පසුබසින බව පෙන්නුම් කරමින් යළි සංවිධානය වී පහර දිය හැකි බවයි පෙන්වා දෙන්නේ.

ඊයේ සාම සාකච්ඡා පැවැත්වෙන අතරතුරත් රුසියාව යුක්‍රේනයට ශෙල් සහ මිසයිල ප්‍රහාර එල්ල කර තිබෙනවා.

එසේම යුක්‍රේන හමුදා කදවුරු ඉලක්ක කර හයිපසොනික් මිසයිල ප්‍රහාරයක් ද ඊයේත් ක්‍රියාත්මක වූ බවයි වාර්තා වන්නේ. සිදුවූ ජීවිත හානි පිළිබඳව මෙතෙක් වාර්තා වී නැහැ.

මේ අතර යුක්‍රේනය තුළ සිටින රුසියාවේ සහය ලබන බෙදුම්වාදී කණ්ඩායමක නායකයෙකු මාධ්‍යයට පවසා ඇත්තේ යුක්‍රේන ආක්‍රමණය වරදක් බවයි. මොස්කව්හි සහය ලබන මේ බෙදුම්වාදී කණ්ඩායමේ නායකයෙකු ප්‍රකාශය පුටින්ට එරෙහි වීමක් වීම විශේෂයි.

මේ අතර යුක්‍රේනය තුළ මිලියන 18කට වැඩි පිරිසකට මානුශීය ආධාර අවශ්‍ය බව ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය පවසනවා.

දැනටමත් ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය යුක්‍රේනය තුළ විශාල කාර්‍යභාරයක් ඉටු කරනවා.

ආහාර, ඖෂධ, ඇද ඇතිරිලි, ශීත ඇදුම් ආදිය යුක්‍රේනය තුළ අවතැන්වූවන්ට බෙදාදීම සිදු කරනු ලබනවා. මෙම අවස්ථාවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතයෙකුද එක් වුණා.

ඔහු පැවසුවේ යුක්‍රේනය තුළ දී සෞඛ්‍ය සේවකයින් සිටි ස්ථාන 74කට ප්‍රහාර එල්ල වී ඇති බවයි. ඉන් පුද්ගලයින් 72නෙකු මියගොස් ඇති බවද ප්‍රවෘත්ති සාකච්ඡාවේදී එළිදරව් කළා.

යුක්‍රේනය ද රුසියානු තාවකාලික හමුදා කදවුරකට ඊයේ පහර දී තිබෙනවා. බෙල්ගරෝද්හි පිහිටුවා තිබූ මෙම කදවුරට සිදු වූ හානිය තවම අනාවරණය වී නැහැ.

මේ අතර නිල නොවන වාර්තාවක සඳහන් වන්නේ යුක්‍රේනයට යුරෝපා සංගමයට බැදීමට ඉඩ දෙන බවට රුසියාව ප්‍රකාශ කර ඇති බවයි. 

මෙයින් ගම්‍යවනුයේ රුසියාව යම් නම්‍යශීලීබ වකට පැමිණීම ද එසේ නම් ඒ වෙනුවට රුසියාව යුක්‍රේනය දෙන්න හදන්නේ කුමක්ද? ස්ථිර වශයෙන්ම ඒ ඩොන්බාස් කලාපයේ පාලනයද? 

ඩොන්බාස් කලාපය තුළ සිය බලය තහවුරු කරගත් පසු රුසියාව ඉන් නතර වේවි යැයි විශ්වාස කිරීම අමාරුයි.

ඇත්තටම මින් මතු රුසියානු තර්ජනවලින් ආරක්ෂා වීමට නම් යුක්‍රේනයේ සහ රුසියාව අතර ඉතා තදබල සාම ගිවිසුමක් අත්සන් කළ යුතුව තිබෙනවා.

දැනට පවතින තත්ත්වය අනුව ඊට මැදිහත්විය හැකි හොදම රාජ්‍ය නායකයා ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් බවයි පෙනෙන්නට ඇත්තේ.

රුසියානු ජනාධිපති හා ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් අතර ඊයේ පැයක දුරකථන සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

එහෙත් එම සාකච්ඡාවේ කරුණු මෙතෙක් අනාවරණය වී නැහැ.