අධිවේගයේ යන්නේ පරිස්සමින් – කාලගුණයෙන් අවවාද

Share

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට මේ වන විට තද වැසි හටගෙන තිබෙනවා.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලට මෙහි වැඩි බලපෑම් එල්ල වී ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

එමෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට ද මිලිමීටර් 150 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.

පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයකටම අහිතකර බලපෑම් එල්ල වී තිබෙනවා. මේ අතර පසුගිය දින කිහිපය තුළ ඇදහැළුණු අධික වර්ෂාපතනය හේතුවෙන් රත්නපුර ඇලපාත ප්‍රදේශයේ කුඹුරු අක්කර සියයකට ආසන්න ප්‍රමාණයක් ගංවතුරින් විනාශයට පත්ව ඇති බව වාර්තා වනවා.

ඒ හේතුවෙන් ගොවීන් අසරණ වී ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා රථ වාහන සඳහා අද දිනයේදී අවවාදාත්මක විද්‍යුත් පුවරු ප්‍රදර්ශනය කර තිබෙනවා. එම පුවරුවල සඳහන් කර ඇත්තේ අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා අවස්ථාවලදී වේගය පැයට කිලෝමීටර් හැටක සීමාවේ තබා ගන්නා ලෙසයි.

දැඩි අඳුරු සහිත පරිසරයක් පවතින නිසා, අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා විට, වාහන වල ඉදිරිපස ලාම්පු දල්වාගෙන ගමන් කරන ලෙස, මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් රියදුරන්ට වැඩිදුරටත් දන්වා සිටිනවා.

Read more

Local News