පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයකටම අහිතකර බලපෑම් එල්ල වී තිබෙනවා. මේ දිනවල ඇද හැලෙන අධික වැසි සමග දිවයිනේ ජලාශවල ජල මට්ටම සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මධ්‍යම කඳුකරයට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ලක්ෂපාන හා කැනියොන් ජලාශවල වාන් දොරටු තවදුරටත් විවෘත කර තිබෙනවා. මේ වන විට කැනියොන් ජලාශයේ සහ ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු තුන බැගින් එසේ විවෘත කර ඇති බවයි වාර්තා වන්නේ. ඒ සමඟ කැළණි ගඟේ ජල මට්ටමද තරමක් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව කැළණි ගඟ ආසන්නයේ පිහිටි කැළණිය, බියගම ප්‍රදේශවල පහත් බිම්වල තවදුරටත් එම ගංවතුර තත්වය පවතින බවයි වාර්තා වන්නේ.
මේ අතර කාසල්රී සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමකට ආසන්න වී ඇති බව වාර්තා වනවා. ඒ අනුව කැනියොන්, ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය සහ විමලසුරේන්ද්‍ර ජල විදුලි බලාගාරවල උපරිම ධාරිතාවයෙන් ජල විදුලිය උත්පාදනය කරන බවයි එම විදුලි බලාගාරවල ඉංජිනේරුවන් පවසන්නේ.



