මෙරට වන අලි ගහනයේ වර්ධනයක්

Share

මෙතෙක් සිදුකළ සමීක්ෂණ වලට අනුව, මෙරට සිටින වන අලි ගහණය පන්දහස් හයසියයත්, හයදහසත් අතර හඳුනාගෙන තිබුණා. නමුත් මේ වනවිට මෙරට අලි ගහනය, හත්දහස දක්වා ඉහළ ගොස් ඇති බව, කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යංශය සඳහන් කරනවා. ඒ මෑතකදී සිදු කළ ගණනය කිරීමකට අනුවයි.

එම තොරතුරු එසේ අනාවරණය වී ඇත්තේ කෘෂිකර්ම වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර හා වනජීවී දෙපාර්තමේන්තුව අතර පැවති සාකච්ඡාවකදී. මේ අතර මෙරට සිටින දළ ඇතුන්ගේ ප්‍රමාණයේ අඩුවීමක්ද වාර්තා වනවා.

දැනට අනාවරණය වන පරිදි මෙරට වනාන්තර තුළ සිටින දළ ඇතුන් සංඛ්‍යාව එකසිය හතළිස් දෙකක් බවයි වනජීවී දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ. මින්නේරිය, ගිරිතලේ හා පරාක්‍රම සමුද්‍රය ආශ්‍රිතව ගැවසෙන වන අලීන් තුන්සිය පනහක් පමණ අතුරුදන්ව ඇති බවට පසුගියදා මාධ්‍ය වාර්තා කර තිබුණා.

වනජීවී දෙපාර්තමේන්තුව සඳහන් කළේ එම වන අලීන් වෙනත් ප්‍රදේශවලට ආහාර සොයා සංක්‍රමණය වී ඇති බවයි. වන අලින් වෙනත් ප්‍රදේශවලට සංක්‍රමණය වීම හේතුවෙන් අදාළ ප්‍රදේශවල ජනතාවට සිදුවන වන අලි හානි ඉහළ ගොස් ඇති බවද වාර්තා වනවා.

Read more

Local News