මූලික අයිතීන්ට අදාළ ගැටලු සම්බන්ධයෙන් චීනය සහ ඉක්වදෝරය එකිනෙකාට සහාය විය යුතුයි – චීන ජනපති

Share

චීන ජනාධිපති ෂී ජින්පිං, රාජ්‍ය සංචාරයක් සඳහා බෙයිජිං නගරයට පැමිණ සිටින ඉක්වදෝර ජනාධිපති Daniel Noboa සමග සාකච්ඡාවක් පැවැත්වීය. එම සාකච්ඡාව ඊයේ (18) පස්වරුවේ බෙයිජිංහි මහජන මහා ශාලාවේදී සිදු විය.
මෙම වසර චීනය සහ ඉක්වදෝරය අතර විස්තීර්ණ උපායමාර්ගික හවුල්කාරිත්වය ස්ථාපිත කිරීමේ 10 වන සංවත්සරය සනිටුහන් කරන බව ෂී ජින්පිං එහිදී ප්‍රකාශ කළේය. චීනය සැමවිටම ඉක්ව‍දෝරය සමග සම්බන්ධතාවය සඳහා දූරදර්ශී සැලැස්මකින් යුත් උපායමාර්ගික මට්ටමේ වැදගත්කමක් ලබා දෙයි. දෙපාර්ශ්වය දේශපාලන අන්‍යෝන්‍ය විශ්වාසය තහවුරු කර ගනිමින් මූලික අයිතීන්ට අදාළ ගැටලු සම්බන්ධයෙන් එකිනෙකාට සහාය දැක්විය යුතු බව ද ඔහු කීය. දෙරට සංවර්ධන උපාය මාර්ගයන්හි සම්බන්ධකම් ශක්තිමත් කළ යුතු අතර, එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළෙහි පොදු සංවර්ධනය සඳහා සහයෝගිතා සැලසුම් ක්‍රියාත්මක කළ යුතුය. ඉක්වදෝරයේ ජාතික සංවර්ධනයට සහාය වීම සඳහා, සෞඛ්‍ය සේවා ශක්තිමත් කිරීම, දරිද්‍රතාවය පිටුදැකීම සහ ආපදා වැළැක්වීම හා අවම කිරීම වැනි ක්ෂේත්‍රයන්හි ඉක්වදෝරය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට චීනය සූදානම්ය. අධ්‍යාපනය, සංස්කෘතිය හා තරුණ කටයුතු ප්‍රවර්ධනය, ක්‍රීඩා සහ ප්‍රාදේශීය මට්ටමින් හුවමාරු ශක්තිමත් කිරීම, ජනතාව අතර හුවමාරු සඳහා පහසුකම් සැලසීම මෙන්ම දෙරට අතර මිත්‍රත්වය වැඩි දියුණු කිරීම යනාදියටත් පියවර ගත යුතු යැයි ද චීන ජනාධිපතිවරයා පවසා ඇත.
චීනය ඉක්වදෝරයේ වැදගත් හවුල්කරුවෙකු සහ මිතුරෙකු බවත් ෂී ජින්පිං ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨ නායකයෙකු බවත් ඉක්වදෝර ජනාධිපති Daniel Noboa මෙහිදී ප්‍රකාශ කළේය. ඉක්වදෝරය, චීනය සමඟ දේශපාලන අන්‍යෝන්‍ය විශ්වාසය ගැඹුරු කිරීමට කැමැත්තෙන් සිටින අතර, එහි ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම සඳහා චීනයට සහාය වේ. තායිවාන ප්‍රශ්නය සම්බන්ධයෙන් චීනයේ ස්ථාවරයට තම රට ගරු කරන බවත්, චීනය සමඟ සහයෝගීතාවයට විශාල වැදගත්කමක් ලබා දෙන බවත් ඉක්වදෝර ජනාධිපතිවරයා අවධාරණය කර ඇත.
දෙපාර්ශ්වය අතර පැවති සාකච්ඡාවලින් පසුව, රාජ්‍ය නායක දෙපළ හරිත කර්මාන්ත, ආර්ථික හා වෙළඳ සහයෝගීතාව, ඩිජිටල් ආර්ථිකය සහ ජනතාවගේ ජීවනෝපාය වැනි ක්ෂේත්‍ර ආවරණය වන පරිදි බහු සහයෝගිතා ලේඛන අත්සන් කිරීමේ අවස්ථාවට ද එක්වූහ.

Read more

Local News