සම ගැන දැනුවත් වෙමු

Share

ලෝක චර්ම සුවතා දිනය එනම් World skin health day එකක් එනම් ලෝක චර්ම සුවතා දිනයක් ලොව තුළ ප්‍රකාශයට පත්කර ඇත්තේ ඇතැම්විට නොදැනුවත්කම නිසා සමට සිදුවන යම් යම් වැරදි ප්‍රතිකාර සහ වැරදි ක්‍රියාමාර්ගවලට යොමුවීම් ආදිය පිළිබදව නිසි මගපෙන්වීමක් කිරීමටයි.

ලෝක චර්ම සුවතා දිනය (World skin health day) වෙනුවෙන් වෙන්වූ විශේෂ දිනයක් නොමැති අතර විවිධ රටවල් මේ සදහා විවිධ දින යොදා ගනිමින් සම සම්බන්ධව ප්‍රජාව දැනුම්වත් කිරීම සිදු කරයි.

බොහෝවිට අපි “සම” දකින්නේ බාහිර පෙනුම සම්බන්ධයෙන් අදාල දෙයක් හැටියට පමණයි. නමුත් සමෙන් විශේෂ කාර්යය ගණනාවක් සිදුවෙනවා. සම මගින් ශරීරයේ බාහිර පද්ධති සියල්ලම සමතුළිතතාවයෙන් පවත්වාගෙන යමින් බාහිරත් සමග ඇති සම්බන්ධතාවය මනාව පවත්වාගැනීමට ප්‍රයෝජනවත් වෙනවා.

සමෙහි පවතින ගැටලු හේතුවෙන් මෙම ක්‍රියාවන්වල යම් අඩාල වීමක් සිදුවුවහොත් ජීවිත හානිය දක්වා විශාල සංකූලතාවලට පවා හේතුවිය හැකියි. මේ සෞඛ්‍ය නොහොත් සමෙහි නිරෝගී භාවය යනු පෙර සදහන් කළ බහුවිද ක්‍රියාකාරීත්වයන් නිසි පරිදි පවත්වාගෙන යාමයි නැතහොත් සමෙහි ව්‍යූහයේ සිදුවන වෙනස්කම් නොමැතිව නිසි ක්‍රියාකාරීත්වයෙන් සහ නිසි ව්‍යූහයෙන් පැවතීමයි.

මෙවැනි සමෙහි විවිධාකාර ගැටලු සදහා ප්‍රතිකාර කිරීම චර්ම රෝග වෛද්‍යවරුන්ගේ කාර්යය වන අතරම මේ වන විට චර්ම රෝග වෛද්‍යවරුන් දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකම, සෑම මූලික රෝහලකම සිටියි. සම සම්බන්ධ ඔ්නෑම ගැටලුවකදී චර්ම රෝග වෛද්‍යවරයෙකු හමුවීම කළ යුතුය.

නිරෝගී සමක් පවත්වාගෙන යාමට නම් හිරු එළියෙන් ආරක්ෂාකාරී විය යුතු අතර උදේ 09ත් සවස 05ත් අතර පතිත වන ඉතා තීව්‍ර හිරු කිරණ හේතුවෙන් සමට හානි පැමිණිය හැකිය. එමනිසා අවුව තද වශයෙන් පවතින අවස්ථාවන්හිදී ශරීරය වැසෙන ලෙස දිගට ඇදුම් ඇදීමද හිස් වැසුම් සහ කුඩ ආදිය භාවිතයද වැදගත් වෙයි.

එමෙන්ම හිරු එළියෙන් ආරක්ෂා වීම සදහා නිසි ප්‍රමිතියකින් සකස් කළ ආලේපන වෛද්‍ය උපදෙස් මත භාවිතා කළ යුතුය. පිරිසිදු කිරීමට යැයි සිතා නිරන්තරයෙන් සම සේදීම මගින්ද සමට හානි පැමිණිය හැකිය. මේ හේතුවෙන් හමේ තෙතමනය නැතිවී හම රැළි වැටී වියළීමට පත්විය හැකිය.

සම වියළි පුද්ගලයින් සමෙහි වියළීම අඩු කරන, ආලේපන (මොයිස්චර්රයිසින්) නිරන්තරයෙන් භාවිතය වැදගත් වන අතර විශේෂයෙන් ස්නානයෙන් සහ ඇග සේදීමෙන් පසු සමෙහි වියළීම අඩු කරන ක්‍රීම් වර්ගයක් භාවිතය වැදගත් වෙයි.

සම නීරෝගීමත්ව පවත්වා ගැනීමට නම් විශේෂයෙන්ම ආහාර පාන පිළිබදවද සැලකිලිමත් විය යුතුය. තරබාරු පුද්ගලයින් පිෂ්ඨය, සීනි අඩංගු ආහාර භාවිතය අඩු කළ යුතු අතර එළවලු, පලතුරු,මාලු, කිරි, බිත්තර ආදිය භාවිතා කළ යුතුය.

නිරෝගිමත් සමක් සදහා ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීමද ඉතා වැදගත් වන අතර අනවශ්‍ය ලෙස නිදිමැරීම සමට හානිදායක වෙයි. එමනිසා හොද නින්දක් ලබාගැනීමද වැදගත් වෙයි.සම මෙන්ම හිසකෙස් සහ නියපොතු පිළිබදවද අවදානය යොමුකළ යුතුය. හිසකෙස් සදහා සැර අඩු ෂැම්පෝ වර්ග භාවිතා කළ යුතු සේම නියපොතු පිරිසිදුව පවත්වාගත යුතුය.

Read more

Local News