මී උණ යළි හිස ඔසවයි

Share

මී උණ රෝගය පසුගිය වසරවල මෙන්ම යළි හිස ඔසවා ඇතැයිද, එසේ වුවත් නිසි ප්‍රතිකාර ලබාගැනීමෙන් 95%ක්ම සම්පූර්ණයෙන්ම සුවවීමේ ප්‍රතිශතයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංග රෝග විද්‍යා අංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ තුෂානි දබරේරා පැවසුවාය.

ඇය මේ බව කියා සිටියේ, අද (01) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී නැවත හිස ඔසවන මී උණ රෝගය යන මැයෙන් පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

මී උණ රෝගය බැක්ටීරියාවක් මගින් බෝ වෙන රෝගයක් බවද, ක්ෂීරපායී සතුන් වන මීයන්, ගවයින්, මී ගවයින් වැනි සතුන්ගේ මුත්‍රා පද්ධතියේ ජීවත් වන බැක්ටීරියාවක් මුත්‍රා මගින් ජලයට මුසු වී ඒම ජලය අදාල ක්ෂේත්‍රවල ක්‍රියා කරන මිනිසුන්ගේ ශරීරගත වීමෙන් මෙම රෝගය වැළදීමේ අවධානමක් පවතින බවද කියා සිටියාය.

මී උණ රෝගය සාමාන්‍ය වෛරස්, ඩෙංගු සහ විෂබීජ මගින් ඇතිවන රෝග ලක්ෂණ මෙන්ම උණ, හිසරදය, ශරීරයේ වේදනාව, මස්පිඩු වේදනාව වැනි රෝග ලක්ෂණවලින් ඇරඹෙන බවද, මෙම රෝගයට විශේෂිත වූ ඇතැම් ලක්ෂණ කලක් ගතවන විට ඇස් කහ වීම, රතුවීම, මුත්‍රා අඩුවීම, මුත්‍රා නොයෑම වැනි රෝග ලක්ෂණ මතුවිය හැකි බවද සදහන් කළාය.

දින තුනකට වඩා උණ පවතී නම්, වෛද්‍යවරයෙකු හමුවී ප්‍රතිකාර ලබාගැනීම වැදගත් බව පැවසූ ප්‍රජා වෛද්‍ය විශේෂඥ තුෂානි දබරේරා, රෝගය වැළදීමට පෙර ගොවි මහතුන්ට කුඹුරට බැසීමට සතියකට පෙර ලබාදෙන ප්‍රොපිලැක්සීස් ඖෂධය නියමිත පරිදි ලබාගැනීමේ වැදගත්කමද පහදාදුන්නා.

මෙම ප්‍රතිජීවක ඖෂධය වෛද්‍ය උපදෙස් මත ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමා සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී හරහා උපදෙස් ලබාගත හැකි බවද, නොමිලේ ප්‍රතිකාර ලබාදෙන බවද අවධාරණය කළාය.

මෙම පෙති නොමිලේ රජය විසින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමන්ලා හරහා බෙදාදෙන බවද, බොහෝ අවස්ථාවල කන්න රැස්වීම්වල දී ගොවි මහතුන්ට මෙම ඖෂධය බෙදාදීම සිදුවන බවද කියා සිටියාය.

Read more

Local News