ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ 1985 අංක 21 දරන පනතේ 37 (1) වගන්තිය ප්‍රකාරව බලපත්‍රලාභියෙකු විදේශ රැකියා සම්බන්ධයෙන් දැන්වීම් පළකරන්නේ නම් ඒ සඳහා කාර්යාංශයේ පූර්ව අනුමැතියක් ලබාගත යුතු අතර, එසේ නොමැතිව දැන්වීම් පළකර විදේශ රැකියා සඳහා බඳවා ගැනීම හෝ විදේශ රැකියා ලබාදීම සඳහා මුදල් අයකිරීම කාර්යාංශ පනත අනුව නීතිවිරෝධි වේ.
එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කටාර් යන රටවල කාන්තා හා පිරිමි දෙපාර්ශවයටම රැකියා ලබාදෙන බව පවසමින් කාර්යාංශයේ අනුමැතියකින් තොරව නීතිවිරෝධි අයුරින් ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ දැන්වීම් පළ කළ කාන්තාවක් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
කාර්යාංශයේ විමර්ශන අංශයට ලද තොරතුරක් මත ක්‍රියාත්මක වූ විමර්ශන නිළධාරීන් කුරුණෑගල, වාරියපොල ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි කාන්තාවක් 2023.03.26 දින මෙලෙස අත්අඩංගුවට ගන්නා ලදී. මේ පිළිබඳව වැඩිදුර විමර්ශනයේදී ඇය රැකියා නියෝජිතායතනයක අතරමැදි තැරැව්කාරියක් බවත්, සමාජ මාධ්‍ය ඔස්සේ දැන්වීම් පළකර සම්බන්ධ කර ගන්නා පුද්ගලයින් එම ඒජන්සි ආයතනය වෙත යොමුකරන බවටද කරුණු හෙළි වී තිබේ.