නුවරඑළියේ මහල් හතරට වැඩි නව ගොඩනැගිලි ඉදිකිරීම සීමා කෙරේ

Share

නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ මහල් හතරකට වැඩි නව ගොඩනැගිලි ඉදිකිරීම සීමා කර තිබෙනවා.

නාගරික සංවර්ධන අධිකාරි පනතේ විධිවිධාන අනුව රෙගුලාසි පැනවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කළ යෝජනා සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාදෙමින් මෙම තීරණය ගෙන ඇත.

ජාතික ගොඩනැගිලි ප‍ර්යේෂණ සංවිධානය සමඟ සාකච්ඡා කර නව ගොඩනැගිලි ඉදිකිරීම නියාමනය කිරීම සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් අදාළ පාර්ශවකාර ආයතනවල නියෝජිතයන්ගෙන් සමන්විත කාර්යසාධක බලකායක් පත්කිරීමටද අදාළ කැබිනට් පත්‍රිකාව මගින් යෝජනා කර තිබේ.

නාගරික සංවර්ධන අධිකාරිය විසින් අංක 38/16/01-06-1978 දරන ගැසට් නිවේදනය මගින් නුවරඑළිය මහ නගර සභා බල ප්‍රදේශය නාගරික ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති අතර, අංක 154614/01-09-1998 දරණ ගැසට් නිවේදනය මගින් නුවරඑළිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයද නාගරික ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇත.

නුවරඑළිය දිස්ත්‍රික්කය යනු දෙස් විදෙස් සංචාරකයන් අතර ජනප්‍රිය සංචාරක ගමනාන්තයකි. එහි සිදුවෙමින් පවතින අවිධිමත් සංවර්ධනය, ප්‍රදේශය තුල පැතිරුණු අඩු පහසුකම් සහිත ජනාවාස,ප්‍රමිතියෙන් තොර පානීය ජල මූලාශ්‍ර, ප්‍රමාණවත් යටිතල පහසුකම් නොමැතිකම සහ නිසි කාණු පද්ධතියක් නොමැතිකම වැනි කරුණු හේතුවෙන් නගරයේ සුන්දරත්වය ක්‍රමයෙන් අඩුවෙමින් පවතී.

එය ප්‍රදේශයේ සංචාරක කටයුතු විධිමත්ව ක්‍රියාත්මක කිරීමට විශාල බාධාවකි.
එබැවින් නගරය තුළ විශාල ගොඩනැගිලි ඉදි නොකර සංචාරකයන්ට විවේකයෙන් ගත කළ හැකි සෞම්‍ය පරිසරයක් සහිත සැලසුම් සකස් කරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග අදාළ අංශවලට උපදෙස් ලබාදී ඇත.

Read more

Local News