ඉඩම් අණ පනත් සංශෝධනයට ජනපතිගෙන් උපදෙස්

Share

කාලීන සංවර්ධන අවශ්‍යතාවයන්ට ගැළපෙන පරිදි මෙරට ඉඩම් සම්බන්ධයෙන් පවතින අණ පනත් සංශෝධනය කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

එම කාර්යය කඩිනම් කර ගැනීම සඳහා සුදුසු කමිටුවක් පත්කර ගන්නා ලෙස ද ජනාධිපතිවරයා දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම උපදෙස් ලබා දුන්නේ ඉඩම් කළමනාකරණ ආයතනයන්හි අණ පනත්වල ප්‍රතිපාදන සංශෝධනය කිරීම හා නව රෙගුලාසි ඇතුළත් කිරීම පිළිබඳ ඉඩම් අමාත්‍යාංශය ඇතුළු අදාළ ආයතනවල නිලධාරීන් සමඟ ඊයේ (10) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීය.

තවමත් රට තුළ ක්‍රියාත්මක වන්නේ යටත්විජිත සමයේ ගෙනෙන ලද ඉඩම් ප්‍රතිපත්ති බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා ඉඩම් පරිහරණය සම්බන්ධව විවිධ අවස්ථාවලදී ගෙන එන ලද අණ පනත් කාලීන සංවර්ධන අවශ්‍යතාවයන්ට නොගැලපෙන බව ද කියා සිටියේය.

සංවර්ධන කටයුතු සඳහා ඉඩම් ලබා දීමේදී දැනට පවතින බාධාවන් ඉවත් කර, නව ජාතික ඉඩම් ප්‍රතිපත්තියක් සකස් කිරීම පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

Read more

Local News