කොළඹ ඩෙංගු මර්දන විශේෂ වැඩසටහනක්

Share

ඉදිරි සති අන්තයේ කොළඹ මහනගර සභා බල ප්‍රදේශය තුළ ඩෙංගු මර්දනය සඳහා විශේෂ පවිත්‍රතා වැඩසටහනක් ක්‍රියාත්මක ‍කරන බැවින් නිවසේ රැඳී සිටිමින් ඒ සඳහා සහාය ලබා දෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව ඩෙංගු මර්දන විශේෂඥ කමිටුවේ සභාපති, සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල පවසනවා.

එම වැඩසටහනෙන් අනතුරුව කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි සතියක් පුරා කීට පරීක්ෂාවන් සිදු කෙරෙන බවද රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළා.

ව්‍යාප්ත වෙමින් පවතින ඩෙංගු රෝගය පාලනය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පසුගියදා ඩෙංගු මර්දන අමාත්‍ය කමිටුවක් සහ විශේෂඥ කමිටුවක් පත් කරන ලද අතර එම විශේෂඥ කමිටුව මඟින් පළාත් මට්ටමින්ද අනුකමිටු 09ක් පත් කරනු ලැබු බවත්, එම කමිටුවල මෙහෙයවීමෙන් ඩෙංගු මර්දන වැඩසටහන් දීප ව්‍යාප්තව සක්‍රීයව ක්‍රියාත්මක වන බවත් රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළාය.

ඩෙංගු මදුරුවන් වැඩි වශයෙන් බෝ වන ස්ථාන ලෙස පාසැල්, පූජණීය ස්ථාන, රජයේ සහ පෞද්ගලික ආයතන, වෙළෙඳ පරිශ්‍ර මෙන්ම අත් හැර දමා ඇති බිම් කොටස් පරීක්ෂා කිරීම සඳහා විශේෂිත දින වෙන් කරමින් මෙම වැඩසටහන බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක කෙරෙන අතර අනෙකු පළාත් සඳහා ඔවුන්ට ආවේණික ගැටලු හදුනාගෙන විශේෂිත වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට දිරිමත් කරන බවද රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොල පැවසීය.

රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොල මේ බව සඳහන් කළේ ඩෙංගු ව්‍යාප්තිය පාලනය පිළිබඳව ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ දී පැවති මාධ්‍ය හමුවේදීය.

ජනවාරි මස සිට මේ දක්වා ඩෙංගු රෝගීන් 47,000කට වැඩි පිරිසක් වාර්තා වී ඇති බවත් ඒ අතරින් 50%ක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන් බවත් සඳහන් කළ රාජ්‍ය අමාත්‍යවරිය ඩෙංගු රෝගය පැතිරීම දේශගුණික තත්ත්වය සමඟ ඉහළ ගොස් ඇති බවත්, මෙම තත්ත්වය පාලනය කර නොගතහොත් කොවිඩ් මෙන් ඩෙංගු රෝගයද මාරාන්තික තත්ත්වයකට පත් විය හැකි බවත් සඳහන් කළාය.

Read more

Local News