පෙරපාසල් ගුරුවරුන්ට විධිමත් පුහුණුවක්

Share

අධ්‍යාපනය අතරමග දී සැකසිය නොහැකි අතර එය පෙර පාසලේ සිට ඉතා විධිමත් ව සැකසිය යුතු බවත් දිවයින පුරා විසිරී සිටින විවිධ වර්ගවල පෙරපාසල් 19,000ක සිටින 40,000ක් පමණ වන පෙර පාසල් ගුරුවරුන්ට නිශ්චිත වූ පුහුණුවක් හා ඩිප්ලෝමාවක් ලබා දී ඉදිරියේ දී එම විධිමත් සහතික අනුව පමණක් පෙර පාසල් ආරම්භ කිරීමට අවසරය ලබාදෙන බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත් පවසනවා.

ප්‍රාථමික අධ්‍යාපනයේ අඩිතාලම වැටෙන පෙර පාසල් අධ්‍යාපනය කෙරෙහි සුවිශේෂ අවධානයක් යොමු කිරීම අත්‍යවශ්‍ය බව පැවසූ අමාත්‍යවරයා ජපානයේ වැඩි ම අවධානයක් යොමු කරන්නේ මෙම පෙර පාසල් අධ්‍යාපනයට බවත් සඳහන් කළා.

යම් රාමුවක් තුළ ක්‍රියාකාරකම් පදනම් කරගත් අධ්‍යාපනයක් පෙරපාසල් දරුවන්ට ලබා දීමේ පදනම සැකසීම මගින් ප්‍රාථමික අධ්‍යාපනය ඇතුළු අනෙකුත් අධ්‍යාපන තලයන්හි අනවශ්‍ය ඉගෙනුම් පීඩනය අවම කිරීමට හැකි වන පරිදි විභාග බර අඩු කළ හැකි බවත් එමගින් නිරායාසයෙන් ම ඉදිරි වසර කිහිපය තුළ දරුවන්ගේ පාසල් බෑගයේ බර ද ක්‍රමානුකූල ව අඩු වනු ඇති බවත් අමාත්‍යවරයා පවසනවා.

මෙහි දී ප්‍රාථමික අධ්‍යාපනය ශක්තිමත් කිරීම වෙනුවෙන් ගෙන ඇති විවිධ පියවර ගැන ද සඳහන් කරමින් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ, අධ්‍යාපන අමාත්‍යාංශය 2022 වර්ෂයේ ප්‍රාථමික ගුරුවරුන් 13,800ක් පුහුණු කර ඇති අතර 2023 වර්ෂයේ දී ද එවැනි ම ප්‍රමාණයකට පුහුණුව ලබා දීම මේ වන විටත් ආරම්භ කර ඇති බවයි.

Read more

Local News