4 වන ආසියා ශාන්තිකර ඇගයීමේ සමුළුව පිලිපීනයේ මැනිලා නගරයේ දී ආරම්භ වෙයි

Share

ආසියා ශාන්තිකර කලාපීය ඇගයීම් සංගමය (Asia Pacific Evaluation Association) සංවිධානය කරනු ලබන හතරවන ආසියා ශාන්තිකර ඇගයීමේ සමුළුව (4th Asia Pacific Evaluation Association Conference) අද (05) පිලිපීනයේ මැනිලා නගරයේ දී ආරම්භ වුණා.

“ඇගයීමේ අනාගතය: ආසියා පැසිෆික් කලාපයේ සමතුලිත සංවර්ධනයක් සදහා ඵලදායී හවුල්කාරිත්වයක්” (Future of Evaluation: Leveraging Partnerships for Equitable Development in Asia Pacific) යන තේමාව යටතේ, දින හතරකින් සමන්විත සමුළුවේ පළමු දිනය වූ ඊයේ (04) ඇගයීම පිළිබද වැඩමුළු 5ක් පවත්වා තිබෙනවා.

සමුළුව සදහා මහද්වීප පහක, රටවල් 39ක සහභාගිකයන් 200 අධික දෙනෙකු සහභාගී වන අතර සමුළුවේ දෙවෙනි සහ තුන්වන දිනවල ජාතික ඇගයීම් ප්‍රතිපත්ති, ඇගයීම් පුහුණු කිරීම, ඇගයීම් ප්‍රතිඵල භාවිතය වැනි මාතෘකා යටතේ දේශන සහ විද්වත් සාකච්ඡා පැවැත්වීමට කටයුතු සුදානම් කර තිබෙනවා.

සමුළුවේ අවසාන දිනය දෙසැම්බර් 07 දින පිලිපීන පාර්ලිමෙන්තුවේ දී පැවැත්වීමට නියමිතයි.

සමුළුවේ සමාරම්භය සනිටුහන් කරමින් ආසියා ශාන්තිකර ඇගයීමේ සංගමයේ සභාපති ආචාර්ය අසේල කළුගම්පිටිය සමුළුවේ සහභාගිකයන් පිළිගත් අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන කබීර් හෂීම්, මයන්ත දිසානායක, සුජිත් සංජය පෙරේරා සහ රෝහිනී කවිරත්න මන්ත්‍රීතුමියද සහභාගී වී තිබුණා.

සමුළුව සදහා ආසියානු සංවර්ධන බැංකුව, එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන, නව සංවර්ධන බැංකුව, ලෝක ආහාර වැඩසටහන අනුග්‍රහය දක්වා තිබෙනවා.

Read more

Local News