එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහකාර මහලේකම්වරිය ජනපති හමුවෙයි

Share

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහකාර මහලේකම් කන්නි විග්නරාජා ඊයේ (14) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවී තිබෙනවා.

පාලනය, ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සහ ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය පිළිබඳව මෙහි දී මූලික වශයෙන් අවධානය යොමු කෙරුණු අතර “බහුමාන අවදානම් තත්ත්වයන් අවබෝධ කර ගැනීම සහ එමඟින් ශ්‍රී ලංකාවේ ජනතාවට ඇති බලපෑම” මැයෙන් සකස් කරන ලද වාර්තාවක් ද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහකාර මහලේකම්වරිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත පිළිගන්වන ලදී.

මෙම වාර්තාව මත පදනම්ව ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රයත්නයන් වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ පුර්ණ සහාය ලබා දෙන බවට ද නියෝජිතවරිය සහතික විය.

මෙරට ආර්ථිකය තුළ කාන්තා සහභාගිත්වය පහළ මට්ටමක පැවතීම පිළිබඳව ද මෙම හමුවේ දී විශේෂ සාකච්ඡාවට ලක් විය. ග්‍රාමීය කාන්තාවන් ආර්ථික කටයුතුවලට සම්බන්ධ වීම සීමා කිරීම, මූල්‍ය ක්ෂේත්‍රය තුළ සැලකිය යුතු තරම් අභියෝගවලට මුහුණ පැමට හේතු වී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන පෙන්වා දී තිබෙනවා.

Read more

Local News