පුරවැසියන් තෘප්තිමත් වන රාජ්‍ය සේවයක් වෙනුවෙන් කටයුතු කළ යුතුයි – ජනපති කියයි

Share

ජනාධිපති අනුර කුමාර දිසානායක බලශක්ති අමාත්‍යාංශයේ ඊයේ (15) පෙරවරුවේ පැවැති ප්‍රගති සමාලෝචන සාකච්ඡාවට එක්විය.

අනෙකුත් රටවල බලශක්ති ක්ෂේත්‍රයට ඉහළ ස්ථානයක් ලැබී තිබෙන ආකාරයෙන්ම ශ්‍රී ලංකාව තුළද බලශක්ති ක්ෂේත්‍රයට ප්‍රමුඛ ස්ථානයක් ලබා දී ඇති බව එහි පෙන්වා දුන් ජනාධිපති අනුර කුමාර දිසානායක බලශක්ති අමාත්‍යාංශය යනු මූල්‍ය ඉපයීම් සිදුවන අමාත්‍යාංශයක් බවත් ඉහළ ඉපයීමක් තිබෙන විට අක්‍රමිකතා සිදු විය හැකි බවට සමාජයේ කතිකාවක් තිබෙන බවත් සඳහන් කළා.

මෙවර ජනාධිපතිවරණයේදී ජනතාව අපේක්ෂා සහගතව සිය මනාපය භාවිතා කර තිබෙන බවත් එම ජනවරමට වගවීමට තමන් බැදී සිටින බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසීය.

රටේ ආර්ථිකය බිඳ වැටීම පිටුපස වංචාව දූෂණය හා නාස්තිය තිබූ බව ජනතාව විශ්වාස කරන බවත් එය වැළැක්වීම සඳහා මෙවර ජනවරම ලබා දී ඇති බවත් පැවසූ ජනාධිපතිවරයා රාජ්‍ය දේහය පුරා පැතිර පවතින වංචා දූෂණ නැවැත්වීම සඳහා ජනතාව තැබූ විශ්වාසය තමන් රකින අතර, රාජ්‍ය සේවකයින්ද තමන්ගේ වගකීම නිසි අයුරින් ඉටු කිරීමට කැපවන ලෙස රාජ්‍ය සේවකයින්ගෙන් ඉල්ලා සිටියේය.

පුරවැසියා තෘප්තිමත් කිරීම සඳහා ඵලදායි හා කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් නිර්මාණය කිරීමට වත්මන් රාජ්‍ය සේවකයාගේ කැපවීම අත්‍යවශ්‍ය බවද ඒ සඳහා ගත යුතු සෑම පියවරක්ම ගැනීමට තමා කටයුතු කරන බවද ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසීය.

මෙවර ජනවරමේ සංයුතිය , අරමුණ හා අපේක්ෂාවන් ඉටු කරගැනීම සඳහා රාජ්‍ය සේවකයා වගකීමෙන් හා වගවීමෙන් කටයුතු කළ යුතු බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඊට අදාළ දේශපාලන නායකත්වය තම කණ්ඩායම ලබාදීමට සූදානම් බවත් කියා සිටියා.

රාජකාරී සීමාව තුළ රාජ්‍ය සේවකයා ගනු ලබන ජනතා හිතවාදී සෑම කටයුත්තක් වෙනුවෙන්ම තමන් පෙනී සිටින බවත්, නොකළ යුතු දේ සිදු කළහොත් ඊට අදාළ ක්‍රියා මාර්ග ගැනීමට නොපැකිළෙන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක වැඩිදුරටත් සදහන් කළා.

බලශක්ති ක්ෂේත්‍රයේ දැනට ක්‍රියාත්මක වෙමින් පවතින සහ ඉදිරි වසර කිහිපය තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත ව්‍යාපෘති පිළිබඳ සවිස්තාරත්මක හා දීර්ඝ සමාලෝචනයක් මෙහිදී සිදු කෙරිණි.

Read more

Local News