ජින්තුපිටියේ වෙඩි තැබීමට ආධාර දුන් පහක් අත්අඩංගුවට

Share

ජින්තුපිටිය ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ඝාතනය කර දරුවන් දෙදෙනෙකුට තුවාල සිදු කිරීමේ සිද්ධියට අදාළව සැකකරුවන් පස්දෙනෙකු (පිරිමි සිව්දෙනෙකු සහ එක් කාන්තාවක්) වෙරළබඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වනවා. පසුගිය 18 සහ 19 යන දිනවල ජින්තුපිටිය හා කොටහේන ප්‍රදේශවලදී සිදුකළ මෙම වැටලීමේදී අපරාධයට ආධාර අනුබල දීම සහ හෙරොයින් ළඟ තබා ගැනීම යන චෝදනා යටතේයි මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි මෙම සැකකරුවන් පිරිස ඊයේ (19) අලුත්කඩේ අංක 01 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, එක් සැකකරුවෙකු 23 වනදා දක්වා රැඳවුම් නියෝග මත තබා ගැනීමටත්, සෙසු පිරිස 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටත් නියෝග කර තිබෙනවා. මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු වෙරළබඩ පොලීසිය සහ කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් ක්‍රියාත්මක වන බව වැඩිදුරටත් සඳහන්.

Read more

Local News